ශ්‍රී ලාංකික අපේ ආහාර රටාවේ ප්‍රධාන ස්ථානයක් ගන්නේ මස් සහ මාළුයි. නමුත් බොහෝවිට මේවා සැකසෙන්නේ එකම විදිහට, එනම් කිරට හෝ මිරිසට උයාගෙනයි. මේ නිසාම හැමදාම එකම රසට කෑම කන ඔබට මස්, මාළු කෑම එපා වෙලා වෙන්නට පුළුවන්. ඔබත් ඔබේ මේසයට අලුත් රසක් එකතු කරන්නට බලාපොරොත්තු වෙනවා නම්, මෙන්න ඒ වෙනුවෙන් උත්සාහ කර බලන්න පුළුවන් අපූරු සහ වෙනස් රසැති ක්‍රම කිහිපයක්.
දකුණු පළාතේ සම්ප්‍රදායික ආහාරයක් වන ඇඹුල් තියල්, කිරට හෝ මිරිසට වඩා හාත්පසින්ම වෙනස් රසයක් ගෙන එයි. මෙය පොල්කිරි භාවිතයකින් තොරව හදන නිසා ලෙඩ රෝගවලට බය නැතුව කන්න පුළුවන් වගේම, නරක් නොවී කල් තබා ගැනීමට ඇති හැකියාවත් වැඩියි. ඇඹුල් තියල් වල ප්‍රධාන රසය වන්නේ ගොරකා ය. ගම්මිරිස් සහ ගොරකා, ලුණු එකතු වීමෙන් සැර, ඇඹුල් සහ ඉතා රසවත් සංයෝජනයක් නිර්මාණය වේ. මේ සඳහා බල මාළු, කෙලවල්ලා හෝ කොප්පරා වැනි තෙල් සහිත මාළු මේ සඳහා වඩාත් සුදුසුයි.
- සාදන ක්‍රමය
මාළු කැබලිවලට ගම්මිරිස්, ලුණු සහ හොඳින් තලා ගත් ගොරකා හොඳින් අත ගාන්න. රම්පෙ, කරපිංචා සමග එය මැටි මුට්ටියක අසුරා, වතුර ස්වල්පයක් පමණක් දමා අඩු ගින්දරේ හොඳින් තැම්බෙන්නට හරින්න. පොල්කිරි නැති නමුත්, ගොරකා සහ ගම්මිරිස් රසයට හොඳින් තැම්බී, මාළු කැබලි කළු පැහැයක් ගත් විට රසවත් ඇඹුල් තියල් එක සූදානම්.
කිරට හෝ මිරිසට වඩා මෘදු, නමුත් අඩුවක් නැති රසයක් මස්/මාළු ස්ටූ එකකින් ඔබට ලබා ගත හැකියි. මෙය බටහිර ක්‍රමයට බිස්ටේක් ලෙස හඳුන්වනවා. මෙහි සැර ගතිය අඩු අතර, සුදුළූණු, ඉඟුරු, ගම්මිරිස් සහ විනාකිරි වල රසයක් ඇත. ඇතැම් විට පොල්කිරි ඉතා සුළු ප්‍රමාණයක් හෝ බටර් සහ කෝන්ෆ්ලා යොදා හොද්ද ඝන කර ගනී. මේ සඳහා කුකුළු මස් හෝ තලපත් වැනි මාළු වර්ග සහ අල, කැරට් වැනි එළවළු කැබලි ද මීට සුදුසුයි.
- සාදන ක්‍රමය
මස් හෝ මාළු කැබලිවලට ලුණු, ගම්මිරිස්, විනාකිරි සහ කහ ස්වල්පයක් දමා පදම් කර ගන්න. පදම් කළ මස්/මාළු කැබලි සහ වතුර ස්වල්පයක් එකතු කර තම්බා ගන්න. තෙල් ස්වල්පයක් රත් කර ලූණු, සුදුළූණු, ඉඟුරු සහ එළවළු තැම්බෙන තුරු බැද ගන්න. එයට තැම්බූ මස්/මාථා එක් කරන්න. හොද්ද උතුරන විට, අවශ්‍ය නම් දෙවන පොල්කිරි හෝ කෝන්ෆ්ලා දියරයක් එකතු කර හොද්ද ඝන කර, ලෙමන් යුෂ ස්වල්පයක් දමා රස බලන්න.
සැහැල්ලු දිවා ආහාර වේලකට හෝ බත්මුලකට ගැලපෙන මෙම ක්‍රමය මස්/මාළු වල ස්වභාවික රසය රැක ගනිමින් සැර සහ ඇඹුල් රසය එකතු කරයි. මෙය මිරිස් හෝ කිරි හොද්දක් නොව, තෙම්පරාදු කළ ලූණු සහ අමුමිරිස් වල රසයෙන් යුත් වියළි ආහාරයකි. සියලුම මාළු වර්ග, කුකුළු මස් හෝ ඌරු මස් කැබලි මේ සඳහා හොඳයි.
- සාදන ක්‍රමය
මස්/මාළු කැබලිවලට කහ, ලුණු සහ මිරිස් කුඩු හෝ ගම්මිරිස් ස්වල්පයක් දමා බැද ගන්න. වෙනත් භාජනයක තෙල් ස්වල්පයක් රත් කර, ලියා ගත් ලූණු, සුදුළූණු, රම්පෙ, කරපිංචා සහ අමුමිරිස් දමා හොඳින් තෙම්පරාදු කරන්න. බැදගත් මස්/මාළු කැබලි තෙම්පරාදුවට එකතු කර, විනාකිරි හෝ ලෙමන් යුෂ ස්වල්පයක්, ලුණු සහ ගම්මිරිස් දමා හොඳින් මිශ්‍ර කර ලිපෙන් ඉවත් කරන්න.
මස්/මාළු කරියකට අවශ්‍ය සැර ගතිය ලබා ගැනීමට හැම විටම මිරිස් කුඩු යෙදීම වෙනුවට ගම්මිරිස් යොදා බලන්න. මෙය ගුණදායක වනවා සේම රසවත්ය. ගම්මිරිස් වල සුවඳ සහ සැර ගතිය ප්‍රධාන වන අතර, මෙය ඇතැම් විට මිරිස් හොද්දට වඩා සෞඛ්‍ය සම්පන්න යයි සැලකේ.
- සාදන ක්‍රමය
මාළු/මස් කැබලිවලට කහ, අමු තුනපහ, ලුණු සහ අඹරාගත් ගම්මිරිස් හොඳින් අත ගාන්න. වෙනම භාජනයකට කපා ගත් ලූණු, සුදුළූණු, ඉඟුරු, කරපිංචා සහ රම්පෙ දමා තෙම්පරාදු කරන්න. ගම්මිරිස් අත ගාගත් මාළු/මස් දමා වතුර හෝ පොල්කිරි ස්වල්පයක් දමා තම්බා ගන්න. අවසානයේ අඹරා ගත් ගොරකා ස්වල්පයක් එකතු කිරීමෙන් රසය තවත් වැඩි කර ගත හැකිය.
මස්/මාළු වලට ඇඹුල් රසය එකතු කිරීමට පොල්කිරි නැති ක්‍රම වලදී දෙහි හෝ ලෙමන් වෙනුවට විනාකිරි, ගොරකා හෝ සියඹලා ස්වල්පයක් යොදා බලන්න. මිරිස් හෝ කිරි හොද්දට හුරු නොවී, මස්/මාළු උයන විට සාමාන්‍ය තුනපහ වෙනුවට බැදපු තුනපහ යෙදීමෙන් අලුත්, සුවඳවත් රසයක් එක් කළ හැකිය.
ඔබත් ඔබේ පවුලේ අයගේ ආහාර රුචිය වැඩි කර ගැනීමට බලාපොරොත්තු වෙනවා නම්, හැමදාම කිරට මිරිසට නොඋයා මේ වෙනස් ක්‍රම අත්හදා බලන්න. ඔබේ කෑම මේසයට අලුත් ජීවයක් සහ රසයක් එකතු වනු නොඅනුමානයි.
දැනුවත් කිරීම
පද්මා පරණවිතාන
විශ්‍රාමික පාඨශාලා ආචාරිනී


Leave feedback about this