අපි හැමෝම අපේ ජීවිත දියුණු කරගන්න කැමතියි. අලුත් අවුරුද්දේ කිලෝ 20කින් බර අඩු කර ගන්නවා, අලුත් ව්‍යාපාරයක් පටන් ගන්නවා, දිනපතා පැය දෙකක්වත් ව්‍යායාම කරනවා වගේ එක එක සිතිවිලි අපි කාටත් එනවා. ඒත් සති කිහිපයක් යද්දී මේ ලොකු ලොකු ඉලක්ක අපිට දරාගන්න බැරි වෙන තරම් බරක් වෙනවා වගේම අන්තිමට අපි අපි අධෛර්යයමත් වෙලා මේ හැමදේම අතරමග අතඅරිනවා. ඉතිං මේක සාර්තකත්වයට යන ගමනේදී ඔබට වගේම මටත් පොදු අත්දැකීමක්. මෙන්ම මේ වගේ ලොකු වෙනස්කම් කරන්න ගියාම ඒවා අසාර්ථක වෙන්නේ ඒ වෙනස්කම් අපේ මොළයට සහ දෛනික චර්යාවට අධික ප්‍රතිරෝධයක් ඇති කරන නිසයි. මොකද අපේ මොළය වුණත් හැම නිතරම කැමති පහසුම, සුපුරුදු මාර්ගයේ යන්න.
කුඩාම පියවරවල බලය
පුංචි පුරුදු කියන්නේ අපේ ජීවිතවල යම් යහපත් වෙනසක් ඇති කිරීමේ අරමුණින් අසාර්ථක විය නොහැකි තරම් කුඩා පියවරක් දිනපතා සිදු කිරීමයි.
පුංචි පුරුදු ඒ කියන්නේ ක්ෂුද්‍ර පුරුදු සංකල්පයේ පුරෝගාමියා වන ආචාර්ය බී. ජේ. ෆොග් (Dr. BJ Fogg) පෙන්වා දෙන්නේ, පුරුද්දක් සාර්ථක කර ගැනීමට නම්, එයට අවශ්‍ය අභිප්‍රේරණය ඉහළ නැංවීමට වඩා, එම ක්‍රියාවට ඇති බාධාව අවම කිරීම වැදගත් බවයි.
නිදසුනක් විදියට දිනපතා ව්‍යායාම කරන්න යන දැවැන්ත ඉලක්කයක් වෙනුවට, දිනපතා, ඇඳෙන් නැගිටි වහාම බිම හිඳගෙන Push-ups එකක් පමණක් කරන්න තීරණය කරන පුංචි පුරුද්දක් ඔබට පවත්වා ගත හැකියි. තත්පර 5ක කාර්යයක් වන මේ සඳහා අපිට විශාල අභිප්‍රේරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එක push-up එකින් අපි ක්ෂණිකව සාර්ථක වෙලා. මෙම ක්ෂණික ජයග්‍රහණයේ හැඟීම අපේ මොළයට ධනාත්මක සංඥාවක් ලබා දෙනවා. එවිට තවත් එකක් කරන්න අපේ සිත පෙළඹෙනවා.
මෙන්න මේ විදියට මේ පුංචි එහෙමත් නැත්නම් ක්ෂුද්‍ර පුරුදු ක්‍රියා කරන්නේ මූලික වශයෙන් මානව මනෝවිද්‍යාත්මක මූලධර්ම දෙකක් මත.
- ප්‍රතිරෝධය අවම කිරීම
අපගේ මොළය නව පුරුද්දකට මුලින්ම දක්වන්නේ ප්‍රතිරෝධයයි. එය නව ක්‍රියාවක් කිරීමට අධික ශක්තියක් අවශ්‍ය බව සිතනවා. ක්ෂුද්‍ර පුරුදු මඟින් මෙම ප්‍රතිරෝධය බිඳ දැමීමට හැකි වන්නේ, එයට අවශ්‍ය ශක්තිය ඉතාම අවම වන බැවිනි. අපි push-ups 10ක් කිරීමට සිතන විට මොළය විරුද්ධ විය හැකි නමුත්, එකක් කිරීමට මොළය පහසුවෙන් එකඟ වේ. - ස්වයංක්‍රීයව සිදුවීම
පුරුද්දක් ස්ථිර වීමට, එය සවිඥානික තීරණයකින් තොරව ස්වයංක්‍රීයව සිදුවිය යුතුය. ක්ෂුද්‍ර පුරුදු, ඒවායේ කුඩා බව නිසා, සති කිහිපයක් තුළ පහසුවෙන් ස්නායු පද්ධතියේ කොටසක් බවට පත් වේ. එමගින්, ටික කලකට පසු ඒ ගැන සිතීමකින් තොරව අපිට එය සිදු කිරීමට හැකියි.
මේ ක්ෂුද්‍ර පුරුදු ක්‍රියාවට නැංවීම සඳහා, දැවැන්ත සැලසුම් හෝ කැපවීම් අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ සරල පියවර හතරයි.
- කුඩාම පියවර තෝරන්න
අපේ ඉලක්කය කුමක් වුවත්, එයට අවශ්‍ය කුඩාම, සරලම ක්‍රියාව තෝරා ගන්න. මෙම ක්‍රියාව කිසිසේත්ම මඟ හැරිය නොහැකි තරම් කුඩා විය යුතුය.
විශාල ඉලක්කය, පොතක් කියවීම වුවත් එහි ක්ෂුද්‍ර පුරුද්ද ලෙස දිනකට එක් වාක්‍යයක් කියවන්න.
විශාල ඉලක්කය, ජර්නල්කරණය වුවත් එහි ක්ෂුද්‍ර පුරුද්ද ලෙස සෑම දිනකම අද හොඳම දේ කුමක්දැයි එක වචනයකින් ලියන්න. - පවතින පුරුද්දකට සම්බන්ධ කරන්න
නව ක්ෂුද්‍ර පුරුද්දක්, ඔබ දැනටමත් දිනපතා ස්වයංක්‍රීයව සිදු කරන පුරුද්දකට සම්බන්ධ කිරීම, එය ස්ථිර කර ගැනීමට ඇති වේගවත්ම ක්‍රමයයි. මෙය පුරුදු ගොඩගැසීම ලෙස හැඳින්වේ.
උදාහරණයක් ලෙස මම උදෑසන දත් මැදීම (පවතින පුරුද්ද) අවසන් වූ පසු, මම මගේ දෑස් පියාගෙන එක් වරක් හුස්ම (නව ක්ෂුද්‍ර පුරුද්ද) ගන්නෙමි. එය මිනිත්තුවක භාවනාවකට පදනම දමයි.
උදාහරණයක් ලෙස මම රාත්‍රියේ නිවසට ඇතුළු වූ (පවතින පුරුද්ද) පසු, මම මගේ සැමියාට/බිරිඳට ස්තුති පණිවිඩයක් (නව ක්ෂුද්‍ර පුරුද්ද) යවන්නෙමි. එය දෙදෙනා අතර සබඳතාව ශක්තිමත් කරයි.
- කිසිවිටෙක අසාර්ථක නොවන්න
ක්ෂුද්‍ර පුරුද්දක් අනුගමනය කිරීමේදී ඇති ප්‍රධානම රීතිය වන්නේ එය දිනපතා සිදු කිරීමයි. නමුත් අපි මිනිසුන් ලෙස මඟ හැරීම් සිදුවිය හැකිය. වැදගත් වන්නේ, එය දින දෙකක් අඛණ්ඩව මඟ නොහැරීමයි. එක් දිනක් අතපසු වුවහොත්, ඊළඟ දවසේදී එය අනිවාර්යයෙන්ම කරන්න. එමගින්, ස්වයංක්‍රීයව සිදුවීමේ දාමය බිඳ වැටීම වළක්වයි. - පුංචි පුරුදු සෙමින් වර්ධනය කරන්න
ක්ෂුද්‍ර පුරුද්දක් සති දෙකක් හෝ තුනක් ස්වයංක්‍රීයව සිදුවන බව හැඟේ නම්, එය ක්‍රමයෙන් වර්ධනය කළ හැකිය. Push-ups 1ක්, Push-ups 2ක් දක්වාත් විනාඩි 1ක හුස්ම ගැනීමක්, විනාඩි 2ක හුස්ම ගැනීමක් දක්වාත් වර්ධනය කළ හැකියි. පුරුද්ද ස්වයංක්‍රීය වූ විට පමණක් වැඩි කිරීම, සහ වෙහෙස දැනෙනවා නම්, වහාම පැරණි, කුඩා පියවරට ආපසු යාමට අප කිසිවිටෙකත් බිය නොවිය යුතුය.
- සෞඛ්‍යය (ශාරීරික සහ මානසික)
ජලය පානය – උදේ අවදි වී පළමුවෙන්ම වතුර වීදුරුවක් බොන්න
භාවනාව – රැකියා ස්ථානයේ පුටුවේ වාඩි වූ පසු, තත්පර 30ක් ඇස් පියාගෙන සිටින්න
නින්ද – රාත්‍රියේ ඇඳට ගිය පසු, දුරකථනය සෙන්ටිමීටර් 50ක් ඈතින් තියන්න
- සබඳතා
සැමියා/බිරිඳ නිවසට පැමිණි පසු, තත්පර 10ක් වැළඳගෙන සිටින්න
රාත්‍රී ආහාරය ගැනීමට පෙර, දරුවන්ට ස්තුති කිරීමට අවස්ථාවක් දෙන්න
- මූල්‍ය
බැංකු ගිණුම පරීක්ෂා කළ පසු, රුපියල් 50ක් (මෙය පුරුදු කළ පසු මුදල වැඩි කළ හැක) ඉතිරිකිරීමේ ගිණුමට මාරු කරන්න.
පුංචි පුරුදු එහෙමත් නැත්නම් ක්ෂුද්‍ර පුරුදු වල සැබෑ බලය පවතින්නේ ඒවායේ ක්ෂණික ප්‍රතිඵල මත නොව කාලයත් සමඟ සිදුවන සංයෝගී ප්‍රතිඵලය (Compounding Effect) තුළය. බැංකුවක තැන්පත් කරන කුඩා මුදලක් වසර ගණනාවක් පුරා විශාල පොලියක් උපයනවා සේම, දිනපතා කරන කුඩා යහපත් ක්‍රියාවක් කාලයත් සමඟ ජීවිතය වෙනස් කරන දැවැන්ත ප්‍රතිඵලයක් ගෙන එයි.
උදාහරණයක් ලෙස දිනකට Push-ups 1ක් ලෙස ආරම්භ කළ පුරුද්ද, සති කිහිපයකට පසු Push-ups 5ක් දක්වා වර්ධනය වූ විට, වසරක් අවසානයේදී ඔබ 1,800කට අධික ව්‍යායාම ප්‍රමාණයක් කර අවසන්ය. මෙය කිසි විටෙකත් ව්‍යායාම නොකළ පුද්ගලයෙකුගේ ප්‍රතිඵලයට වඩා කොතෙක් විශාලද? මෙම සංයෝගී බලය චිත්තවේගීයව ද ක්‍රියාත්මක වේ. දිනපතා ඔබේ සහකරුට/සහකාරියට ස්තූති කරන පුරුද්ද, වසරක් අවසානයේදී ස්තූති 365ක් වන අතර, එය ඔබගේ සමස්ත සබඳතාවයේ ශක්තිමත්භාවය සහ ධනාත්මක බව විශාල ලෙස වැඩි කරනු ඇත.
පුංචි පුරුදු මඟින් අපට උගන්වන්නේ සෑම දිනකම 1%කින් දියුණු වීම යනු කුමක්ද යන්නයි. ක්ෂුද්‍ර පුරුදු වල මූලික අරමුණ වන්නේ සෑම දිනකම සාර්ථකව දවසක් අවසන් කළා යන හැඟීම ලබා දීමයි. මෙම සාර්ථකත්වයේ හැඟීම අපගේ ආත්ම විශ්වාසය ඉහළ නංවන අතර, අපට තව තවත් විශාල දේ කිරීමට ධෛර්යය ලබා දෙයි.
ක්ෂුද්‍ර පුරුදු යනු ඉක්මන් හා දැවැන්ත ප්‍රතිඵල ලබා දෙන මැජික් එකක් නොවුණත් එය ස්ථිර වර්ධනයක් සහ අඛණ්ඩ දියුණුවක් සඳහා ඇති වඩාත් ප්‍රායෝගික සහ මනෝවිද්‍යාවට ගැලපෙන ක්‍රමවේදයයි. ඔබ ජීවිතයේ කුමන ඉලක්කයක් හඹා ගියත් විශාල වෙනස්කම් සිදුකරමින් පීඩාවට පත් නොවන්න. ඒ වෙනුවට, ඔබගේ දෛනික චර්යාවට අසාර්ථක විය නොහැකි තරම් කුඩා ක්ෂුද්‍ර පුරුදු ඇතුළත් කරන්න. දැවැන්ත පියවර තැබීමෙන් පසුව වැටී යාමට වඩා, කුඩා පියවර දිනපතා ඉදිරියට තැබීම වැදගත් ය. මන්ද, එය ඔබගේ ජීවිතයේ ස්ථාවරත්වය සහ විශ්වසනීයත්වය තහවුරු කරයි. දැන්ම පටන් ගන්න. ඔබගේ ජීවිතයේ විශාලතම වෙනස්කම් ගෙන ඒමට ඇත්තේ එක් Push-up එකක, එක් වතුර වීදුරුවක, හෝ එක් ස්තූති පණිවිඩයක දුරක් පමණක් බව සිහි තබාගන්න.


Leave feedback about this