නොවැම්බර් 24, 2026
විශේෂී ලිපි

අත් නැත…කකුල් නැත… හිතේ කනස්සල්ලක්ද නැත

දෑත දෙපය තිබෙනවා නම් මේ ලෝකයට බරක් නොවී ජීවත් වෙන්න බැරිද….අනුන් මත යැපෙන උදවිය වෙනුවෙන් අපි මේ විදිහට කතා බහ කළත් දෑත් දෙපා නොමැති පුද්ගලයෙක් වෙනුවෙන් මේ කියමන සාධාරණද….?

එහෙත් අහිමි දේ ගැන ලතැවිල්ලෙන් පසු නොවී තමාගේ හිතේ ශක්තියෙන් ඔහු ජීවිතය ජය ගත්තේය. අත් නැත…කකුල් නැත…ඒ වගේම හිතේ කනස්සල්ලක්ද නැත… නිකලස් ජේම්ස් වෝයිඅවිචි ගේ ජීවිතයේ තේමා ගීතය එයයි.

අනේ….අත් කකුල් නැති දරුවෙක්….ඒත් මොනවා කරන්නද…?

දරුවෙක් පිලිබඳව වූ නිමිත්ත දැනගත් මොහොතේ පටන් මවකගේ බලාපොරොත්තුව හිතේ තිබෙන හීනය සැබෑවක් සේ ඇස් ඉදිරියේ දකින්නටයි. ඔස්ට්‍රේලියාවේ වෝයිඅවිච් දෙන්නා දෙමහල්ලන්ටත් මේ බලාපොරොත්තුව එසේම විය. එහෙත්….මව්පිය බලාපොරොත්තු සුනු විසුනු කරමින් ඔවුන් තම දරුවා දුටු සැන ලෝකයම ඔවුන්ගේ හිස මතට කඩා වැටුනා වැනි බරකින් හිත පීඩා විඳින්නනට විය. අනේ….අත් කකුල් නැති දරුවෙක්….ඒත් මොනවා කරන්නද…?.අපේම දරුවෙක්…මව්පිය දෙදෙනා පැමිණි දුක් පැණි රසය යැයි සිතමින් දරුවා සිඹ ගත්තේ සැබෑ වූ දරුසෙනෙහසින්ය. 1982 වසරේ දෙසැම්බර් හතර වැනි දින උපත ලද මේ දරුවාට උප්පැන්නය ලබා දුන්නේ නිකලස් ජේම්ස් වෝයිඅවිචි යනුවෙන්ය. පවුලේ උදවිය ඔහු ආමන්ත්‍රණය කරනු ලැබුවේ “ නික් ” යන සුරතල් නාමයෙන්ය. දෑත් දෙපා අහිමි මේ දරුවා දෙස හැම දෙනාම මහත් අනුකම්පාවෙන් බලන්නට වූහ. වෛද්‍යවරුන් මේ රෝග තත්වය හඳුන්වා දුන්නේ ටෙට්රා ඇමෙලියා රෝග (Tetra – Amelia) තත්වයක් ලෙසය. තමාගේ වයසේ දරුවන් කෙලි දෙලෙන් දුවපැන ඇවිදින විට දෑත් දෙපා අහිමි වුන නික් තමා ගැනම අනුකම්පාවෙන් ලතැවෙන්නට වූයේය. ඔහු දෙවියන්ගෙන් උදේ හවස යාඥා කරමින් ඉල්ලා සිටියේ වෙන කිසිම දෙයක් නොව “මට අත් දෙකක් හා කකුල් දෙකක් …..යන ඉල්ලීමයි. තම ඉල්ලීම වෙනුවෙන් දෙවියන්වහන්සේ කන් නොදෙන බව පෙනෙද්දී තමාගේ පතුල් ආධාරයෙන් අකුරු ලිවීමට උත්සාහ කළේය.මෙම උත්සාහය ඉතා අසීරු වූ නිසා ඔහු එයින්ද ඉවත් වූයේය.

දෙමව්පියන්ට අවශ්‍ය වූයේ නික් සාමාන්‍ය දරුවෙක් ලබන හැම අයිතියක් සහ වරප්‍රසාදයන් නොඅඩුව ලබා දීමටය. මේ නිසා ඔහු ළදරු පාසලකට ඇතුලත් කළද, සම වයස් කණ්ඩායම් වෙතින් ඇති වුන කෙනහිලිකම් සහ හිත් රිදීම් ඉදිරියේ ඔහුට ළදරු පාසල අප්‍රසන්න පරිසරයක් විය. එක් දිනක් කණ්නාඩිය ඉදිරියට ගිය නික් තමාගේ ස්වරූපය දෙස බලා සිටියේය. අත් කකුල් නැතැත් මට ලස්සන ඇස් දෙකක් තියෙනවා. මේ වගේ ලස්සන ඇස් වෙන කාටවත් නැති බව මට විශ්වාසයි. නික්ට මෙම අදහස් සිහියට නැගෙන විට ඔහුගේ වයස අවුරුදු හයකි.

  • කෙසේ හෝ ජීවිතයට මුහුණ දිය යුතුයි.

වයස අවුරුදු අටක් පමණ වෙත්ම තමන්ගේ ආබාධිත බව ඔහුට මහත් සේ පීඩාවක් විම් නිසාම නික් සිය දිවි හානිකරගන්නනට උත්සාහ කළද මවගේ මැදිහත් වීමෙන් කෙසේ හෝ නික්ට ජීවත් වෙන්නට වාසනාව හිමි විය. වයස අවුරුදු දහයක් පමණ වූ නික් එක් දිනක් වතුරට පැන සිය දිවි හානි කර ගන්නට ගත් උත්සාහය මවගේ මැදිහත් වීම නිසා අසාර්ථක විය. ඔබ කෙසේ හෝ ජීවිතයට මුහුණ දිය යුතුයි. ජීවිතය යනු ප්‍රශ්න ඉදිරියේ පැන යෑමක් නොව තමාගේ පෞරෂය ගොඩ නගා ගෙන ජීවත්වීමයි. එක් දිනක් නික්ගේ මව පත්තර පිටුවක් ලබා දුන්නේය. එය සොයා නොබලා නික් ඉවතට දැම්මේද නැත. මෙහි සඳහන් වූයේ ආබාධිත පුද්ගලයන් පිලිබඳ කථාවන්ය.

සපත්තුවක් නැතුව මම හඬනා කලට පාද අහිමි පුද්ගලයොත් සිටිනවා.

සපත්තුවක් නැතුව හඬනා කලට පාද අහිමි පුද්ගලයෙක් දුටුවා සේ ඔහු මෙසේ සිතුවේය. ලෝකයේ සිටින එකම ආබාධිතයා මම නොවෙයි….ඔහු ජීවත් වෙන්න තීරණය කළේය. තමාගේ ධනාත්මක චින්තනය ගොඩ නැගෙන්නනට පටන් ගත්තේ එතැන් පටන්ය. තමන්ගේ ජීවිතය ගැන අතීතාවර්ජනයේ යෙදෙන නික් කියා සිටින්නේ දෛවෝපගත විදිහට ජීවත්විමට අත් පා නොදුන්නත් එකම හොඳ දෙයක් දෙන්නට අමතක කළේ නැහැ. ඒ මගේ අම්මා…..ඇත්තටම මට ජීවත්වෙන්න පන්නරය ලබා දුන්නේ මගේ අම්මා…සැබැවින්ම ඇය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම අම්මෙක්…ඒ නිසා මම දෙවියන් වහන්සේට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. උගත මනා ශිල්පයමයි මතු රැකෙනා බව නික් වටහා ගත්තේය. ඉගෙනීම වෙනුවෙන් උනන්දු දෑත් දෙපා අහිමි යැයි වූ පශ්චත්තාපයෙන් පසුබැස්සේ නැත. ශිෂ්‍ය ක්‍රියාකාරී ආයතන ආරම්භ කළා පමණක් නොව තම මිතුරන්ගේ සහභාගිත්වය ඇතුව ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් විශේෂ වැඩ සටහන් සංවිධානය කරන්නට යොමු වූයේය. තමන්ගේ අත්දැකීම් ඔහුගේ මෙම ගමනට බෙහෙවින් දායක විය. තමා උපමා කොට අනුන් දෙස බලන්නට අමුතුවෙන් පාඩම් කියා දෙන්නට අවශ්‍ය වූයේ නැත. වයස අවුරුදු 17 ක් වෙන විට Life Without Limits සුබසාධන සංගමය ආරම්භ කිරීමට තරම් තමන්ගේ ජීවිතයෙන් ඔහු පන්නරය ලබා ගත්තේය. වයස අවුරුදු 21 ක් වෙන විට වෝයිඅවිච් ගිණුම්කරණය සහ ආර්ථික කළමනාකාරනය පිලිබඳ උපාධි දෙකක් ලබා ගත්තේය. තමන් ජීවිතය ජයගත්තා සේම ජීවිතයට මුහුණ දිය යුතු ධනාත්මක ආකල්ප ලෝකය සමග බෙදා හදා ගැනීමේ මෙහෙවර මත කටයුතු කරන ඔහු ජනප්‍රිය දේශකයෙකි. ධනාත්මක ආකල්ප ගොඩ නගා ගන්නා අන්දම මුල් කර ගත් දේශන වෙනුවෙන් ඔහු දැන් රට රාජ්‍ය තරණය කරමින් සිටින්නේය. දැනටමත් රටවල් විසිපහක දේශන පවත්වා ඇති අතර ඒ වෙනුවෙන් අති විශාල පිරිසක් සහභාගී වීම නිසාම නික් පිලිබඳව ගොඩ නැගී තිබෙන ආකල්පය වටහා ගැනීම එතරම් අසීරු නැත. දෑත් අහිමි වුනත් ලේඛන කලාව වෙනුවෙන් ලබා ඇති පන්නරය සුලු කොට තැකිය නොහැක. Life Without Limits සහ Life’s greater purpose යන ග්‍රන්ථ සහ සුබවාදී ආකල්ප මුල් කර ගත් භද No Arms – No Legs – No worries DVD වෙනුවෙන් ඇත්තේද විශාල ඉල්ලුමකි. මෙම ඉල්ලුම ලෝකය පුරා ප්‍රසිද්ධිියට පත්ව ඇත. සිනාවෙන් සියළු අභියෝග ජයගත් ඔහු ඇත්තටම අපුරු මිනිසෙකි. තමන්ගේ කටයුතු කිසිවෙකුටවත් බරක් නැත කිසිවෙකු මත යැපෙන්නේද නැත. දත්මැදීම, හිස පීරා ගැනීම වීදුරවකින් වතුර බීම වැනි දෛනික කටයුතු දෑත් ඇත්තන් සේම සාමාන්‍ය පරිදි සිදු කර ගනී. ක්‍රිඩාව ඔහුගේ විනෝදාංශයයි. ටෙනිස් ක්‍රිඩාව, පිහිනීම පමණක් නොව බෙර වාදනය වැනි සෞන්දර්යාත්මක රස පෝෂනයෙන් ජීවිතය වින්දනය කරන්නෙක් බවට නික් දැන් පත්ව ඇත. රංගනයට ඇති හැකියාව The butterfly circus චිත්‍රපටයෙන් ප්‍රදර්ශනය කළ නික් Method feat සම්මාන උලෙලේදි හොඳම නළුවා සම්මානයෙන්ද පිදුම් ලැබුවේය.

අමුතු විදිහට බලන අය සමග හොඳට හිනා වෙලා කතා කරන්න..

අම්මාගේ අවවාදය සමග නික් මේ හැම දෙනා සමගම මිතුරු සමාගම් ගොඩ නගා ගත්තේය. මේ අමුතු දරුවා දෙස අමුතු ලෙස බොහෝ දෙනා බලද්දී අම්මා අපූරු අවවාදයක් තම පුතුට ලබා දුන්නාය. ඔයා දිහා අමුතු විදිහට බලන අය සමග හොඳට හිනා වෙලා කතා කරන්න.. අම්මාගේ මග පෙන්වීම නිසා ඇත්තටම මට ආබාධිත බව අමතක වුණා. මට බොහෝ මිතුරන් ඇති වුනා. ශාරිරිකව මොනවා වුනත් මං මානසිකත්වයෙන් බොහොම පොහොසත් වුනා. මට සමාජයක් තිබෙනවා නේද…මට එතකොට හිතුනා . අම්මා මට ඇත්තටම සාර්ථක මාවතක් පෙන්වා දුන්නා. ඒත් මට ආදරේ අයට අතට අත දෙන්න මට පුලුන් කමක් නැහැ. මේ නිසා හැම දෙනාම මාව ආදරයෙන් වැළඳ ගන්නවා. මං ඒ අයගේ ආදරය ඉඩ දෙනවා. ඇත්තටම මම යන්ත්‍රයක් වගෙයි. ඔවුන්ගේ ආදරය වෙනුවෙන් මට ප්‍රතිචාර දක්වන්න අපහසුයි. නික් දැන් විවාහකය. කැලිෆොන්යිවේදී ඔහුගේ විවාහ මංගල්‍යය පවත්වන ලද අතර මනාලිය වුයේ කනේ මියහාරා නම් තරුණියයි. දැන් ඔහු දෙදරු පියෙකි.හිත ඇත්නම් පත කුඩාද යන්න ඔහු දැන් ලෝකයට පෙන්වා අවසානය.ලෝකයේ සාර්ථකම ධනාත්මක චින්තකයා යන විරුදාවලිය දැන් නික් වෙනුවෙන් සැබැවින්ම අන්වර්ථය. ජීවිතය ජය ගැනීම වෙනුවෙන් ඔහු ලෝකයට දෙන උපදෙස් මෙසේය.

  • ඔබ ගැන විශ්වාසය තබන්න                                                                                              ජීවිතය ජය ගැනීමට නම් එහි පළමු පියවර ලෙස නික් දකින්නේ තමා ගැන ඇති කර ගන්නා ආත්ම විශ්වාසයයි. ඔව්…එය මට පුළුවන් යන විශ්වාසය තුළ පිහිටා අරමුණු ගොඩ නගා ගන්න. ඔබට වරදින්නේ නැත.
  • අත්හරින්න එපා                                                                                                                       යම් ඉලක්ක අරමුනක් වෙනුවෙන් ඔබ ගොඩ නගා ගත් උත්සාහය කිසිම ලෙසකින්වත් අත් නොහැරිය යුතුය. එම ඉලක්කය හඹා යන්නේ නම් අරමුණ වෙනුවෙන් වූ දැඩි ග්‍රහණය අවශ්‍යම සාධකය වන්නේය.
  • අදම පටන් ගන්න                                                                                                                 ඔබට ජීවිත වෙනුවෙන් ඉලක්කයක් ඇත්තේ නම් එය හෙට වෙනුවෙන් කල් තැබීම අවශ්‍ය නැත. අරමුණු අනාගතයට භාර කිරීම අලසයාගේ ගති ලක්ෂණයක් වේ. මේ නිසා ඉලක්කය වෙනුවෙන් වර්තමානය පාදක කර ගන්න. කිසිම විට අනාගතයට කල් තබන්න එපා යන්න නික්ගේ අවවාදයයි.
  • වතාවකට එක් දෙයක් කරන්න                                                                                                ඔබේ ජීවිතයේ අරමුණු බොහෝ තිහැක. එහෙත් වතාවකදී ඔම සූදානම් යුත්තේ එක් අරමුණක් වෙනුවෙන් පමණි. අනවශ්‍ය ලෙසින් බොහෝ දේ පටලවා නොගන්න. මිනිසෙකු ලෙසින් කළ හැකි උපරිමයක් ඇත. එබැවින් හොඳම දෙය එක් වරකට එක් දෙයක් කිරීම පමණි.
  • අරමුණක් අවශ්‍යය                                                                                                          ජීවිතයේ අරමුණක් අවශ්‍ය අතර එම අරමුණ ඉලක්ක කර ගෙන ජීවත් වෙන්න. එවිට ජීවිතය බෙහෙවින් අර්ථදායක වෙනු ඇත. ඉබාගාතේ ජීවත්වෙන විට ඇති වෙන වෙහෙස ඉලක්කයක් වෙනුවෙන් ජීවත්වන්නාට නොදැනෙනු ඇත.
  • අද කටයුතු හැකිතරම් ඉටු කරන්න                                                                                           කාලය අපට නවතා ගත නොහැක. දවසේ උපරිම ප්‍රයෝජන ගැනීමට නම් තත්පර ආරක්ෂා කර ගත යුතුය. එබැවින් අදට කළ යුතු දෙය කිසිම ලෙසකින් හෙටට කල් නොදමන්න.
  • ලද දෙය ගැන පසුතැවිලි නොවන්න                                                                                                    මේ නික්ගේ ජීවිතයේ සැබෑම දැක්මයි. දෙපා , දෑත් නොමැති වුනත් ඔහු තමාගේ ලද ශක්තියෙන් ලබා ගත් ප්‍රයෝජනය නිසාම අද ජාත්‍යන්තර කීර්තියට පත් ධනාත්මක චින්තකයෙක් බවට පත්ව ඇත.                                                                                                                                

පුන්‍යා චාන්දනී ද සිල්වා

Leave feedback about this

  • Quality
https://nusantarabola.id/