එහෙම නම් මේ ලිපිය ඔබටයි…..
අද ලෝකයේ රැකියා, අධ්‍යාපනය හෝ වෙනත් හේතු නිසා බොහෝ කාන්තාවන් තම පවුලෙන් ඈත්ව ජීවත් වෙනවා. සමහරවිට ඔවුන් විදේශ රටක ඉන්නවා. තවත් සමහරු තමන්ගේ ගමෙන් ඈත්ව වෙනත් නගරයක. ඒ අතරතුර ගැබ් ගැනීමක් සිදු වූ විට, බොහෝ දේවල් තනිවම කළමනාකරණය කරන්න සිදුවෙනවා. සැමියා සමඟ ජීවත් වුවත්, ඔහුගේ රැකියාව නිසා දවසේ වැඩි කාලයක් තනිවම ගත කරන්න සිදුවෙන අවස්ථාත් බොහෝමයක් තිබෙනවා. මේ නිසා “මම මේ හැමදේම තනිවම කරගන්නේ කොහොමද?” කියන ප්රශ්නය බොහෝ අම්මලාගේ හිතට එන එක සාමාන්‍ය දෙයක්. එහෙත් එවැනි ගැබිනි මව්වරුන්ද තම දරුවා වෙනුවෙන් අනෙක් මව්වරුන් මෙන්ම ඒ සමානවම කැපවෙනවා. මේ ලිපිය ලියන්නේ සහයෝගය අඩුවෙන් ලැබෙන එවැනි ගැබිනි මව්වරුන්ට මඟපෙන්වීමක් ලෙසයි.
ගැබිනි සමය කියන්නේ කාන්තාවකගේ ජීවිතයේ ඉතාමත් සුවිශේෂී කාලපරිච්ඡේදයක්. මේ කාලයේ ඇයගේ ශරීරයේ පමණක් නොව, සිතුවිලි, හැඟීම් සහ ජීවිත රටාවත් විශාල ලෙස වෙනස් වෙනවා. මේ වෙනස්කම්වලට මුහුණ දීම පහසු වෙන්නේ ආදරණීය පවුලක්, සැමියා, මව, සහෝදරියන් හෝ හිතවතුන් වැනි සහයෝගය ලබාදෙන පිරිසක් ළඟ සිටින විටයි. නමුත් හොඳ සැලසුමක්, නිවැරදි දැනුවත්කමක් සහ මානසික ශක්තියක් තිබුණොත්, මේ ගමන පහසු කරගන්න පුළුවන්.
- ඔබේ දවස සැලසුම් කරගන්න
තනිව සිටින ගැබිනි මවකට හොඳම මිතුරා වෙන්නේ හොඳ දෛනික සැලසුමක්. උදෑසන නැගිටින වෙලාව, ආහාර වේල්, විවේකය, සැහැල්ලු ව්‍යායාම, නිවසේ වැඩ සහ නින්ද යන සියල්ලටම නිශ්චිත වේලාවක් තියාගන්න. දවසම කිසිම සැලසුමක් නැතුව ගෙවද්දී තනිකමත්, කම්මැලිකමත්, ආතතියත් වැඩි වෙන්න පුළුවන්. නමුත් සැලසුමක් තිබුණොත් දවස පාලනය කරන්න පහසු වෙනවා.
- නිවසේ වැඩ බෙදාගෙන කරන්න
“අදම මේ හැමදේම ඉවර කරන්න ඕනේ” කියලා හිතන්න එපා. අද කරන්න පුළුවන් වැඩ ටික අද කරන්න. හෙටට තියන්න පුළුවන් දේ හෙටට තියාගන්න. පිරිසිදු කිරීම, රෙදි සේදීම, කෑම පිසීම වගේ වැඩ එකවර කරනවා වෙනුවට කොටස්වලට බෙදාගන්න. ඔබේ ශරීරයට විවේකය අවශ්‍ය බව අමතක කරන්න එපා. හැකියාවක් ඇති නම් සතියකට වරක් මුදල් ගෙවා අයෙකු යොදවා නිවස පිරිසිදු කරගන්නා කටයුත් කරවා ගන්නත් හැකියි
- සතියකට කෑම සැලසුම් කරගන්න
අද මොනවා උයනවාද කියලා දිනපතා හිතනවාට වඩා සතියේ මෙනුව කලින් සැලසුම් කරගන්න. එළවළු, පලතුරු, ධාන්‍ය, ප්‍රෝටීන් සහිත ආහාර ගෙදර තිබෙන බව කලින්ම බලන්න. අවශ්‍ය නම් Online Grocery සේවාවන් භාවිතා කිරීමෙන් ශරීරයට වැඩි වෙහෙසක් නොදී බඩු ගෙන්වාගන්නත් පුළුවන්.
- වෛද්‍ය හමුවීම් අතපසු කරන්න එපා
ගැබිනි සමයේ නියමිත පරීක්ෂණ සහ වෛද්‍ය හමුවීම් ඉතාමත් වැදගත්. Calendar එකක හෝ දුරකථනයේ Reminder එකක් දාලා දිනයන් මතක් කරගන්න. ප්‍රශ්න තියෙනවා නම් කලින් ලියාගෙන යන්න. වෛද්‍යවරයා හමුවෙන විට අමතක නොවී අහන්න පුළුවන්.
- හදිසි අවස්ථාවකට සූදානම් වෙන්න
ඔබ තනිව ඉන්නවා නම් මෙය ඉතාම වැදගත්.
- ළඟම රෝහලේ තොරතුරු තබාගන්න
- හදිසි අවස්ථාවක අමතන්න පුළුවන් දුරකථන අංක ලියා තබාගන්න
- අවශ්‍ය ලේඛන එකම ෆයිල් එකක තබාගන්න
- රෝහලට යන බෑග් එක අවශ්‍ය කාලයට කලින් සූදානම් කරගන්න
මේ වගේ සූදානමක් තිබුණොත් අනපේක්ෂිත අවස්ථාවක කලබලය අඩු වෙනවා.
- තනිකමට ඉඩ දෙන්න එපා
පවුල දුරින් සිටියත් සම්බන්ධතා නැති කර ගත යුතු නැහැ. දිනපතා හෝ දින කිහිපයකට වරක් Video Call එකක් ගන්න. අම්මා, තාත්තා, සහෝදරිය, යාළුවෙක් සමඟ කතා කරන විනාඩි 15ක් වුණත් හිතට ලොකු සහනයක්. ඔබේ හැඟීම් හිතේ තියාගෙන ඉන්න එපා.
- අලුත් අම්මලාගේ සමාජයකට එකතු වෙන්න
අද Online Pregnancy Groups, Facebook Communities සහ Prenatal Classes හරහා තවත් ගැබිනි අම්මලා හඳුනාගන්න පුළුවන්. “මට විතරද මෙහෙම වෙන්නේ?” කියලා හිතන ගොඩක් දේවල් තවත් අයටත් තියෙනවා කියලා එතනදී තේරෙනවා. ඒක ඔබේ මානසික සෞඛ්‍යයටත් හොඳ බලපෑමක් කරනවා.
- මානසිකව ශක්තිමත් වෙන්න
ගැබිනි සමයේදී හැඟීම් ඉක්මනින් වෙනස් වීම සාමාන්‍ය දෙයක්. සමහර දවස්වල හේතුවක් නැතුව අඬන්න හිතෙන්නත් පුළුවන්. එහෙම වුණාම ඔබ ගැන වැරදි විනිශ්චයක් දෙන්න එපා. ඔබට බියක්, කනස්සල්ලක් හෝ තනිකමක් දැනෙනවා නම් ඒ ගැන සැමියාට හෝ විශ්වාසවන්ත කෙනෙකුට කියන්න.
දිනපතා
- පොතක් කියවන්න
- තම ආගමට අනුව කටයුතු කරන්න. භාවනා කරන්න
- මෘදු සංගීතයට සවන් දෙන්න
- ගැබිනි සමය ගැන ඇති සුදුසු දේවල් කියවන්න. දැනුවත් වෙන්න
- ඔබ කැමති කුඩා විනෝදාංශයක යෙදෙන්න
මේවා හිතට සැනසීමක් ලබාදෙනවා.
- ඇවැසි වෙලාවක උදව් ඉල්ලන්න බය වෙන්න එපා
බොහෝ අම්මලා හිතන්නේ “මම තනියම කරගන්න ඕනේ” කියලා. නමුත් අවශ්‍ය වෙලාවට උදව් ඉල්ලන එක දුර්වලකමක් නෙවෙයි. සැමියාගෙන්, අසල්වැසියෙකුගෙන්, මිතුරෙකුගෙන් හෝ සේවාවක් ලබාගන්න පුළුවන් තැනකින් උදව් ඉල්ලන්න. වැදගත්ම දේ ඔබගේ සෞඛ්‍යය බව අමතක නොකරන්න.
- ඔබේ ශරීරයට ඇහුම්කන් දෙන්න
ඔබ සෞඛ්‍ය සම්පන්නව සිටින තරමටම ඔබේ බිළිඳාටත් එය වඩාත් සුදුසු බව මතක තබා ගන්න.
- අධික වෙහෙසට පත් විමෙන් වලකින්න
- දිගු වේලාවක් සිටගෙන වැඩ කිරීමෙන් වලකින්න
- බර දේවල් ඉසිලීමෙන් වළකින්න
- ප්‍රමාණවත් ජලය බොන්න
- පෝෂ්‍යදායී ආහාර ගන්න
- ප්‍රමාණවත් නින්දක් ලබාගන්න.
පවුලෙන් ඈත්ව, විදේශ රටක හෝ තනිව ගැබිනි සමය ගත කරන එක අභියෝගයක් වුණත්, එය ඔබට ජයගත නොහැකි ගමනක් නොවෙයි. ඔබේ දවස හොඳින් සැලසුම් කරගෙන, අවශ්‍ය සහයෝගය ලබාගෙන, ඔබේ ශරීරයට සහ මනසට ආදරයෙන් සලකනවා නම් මේ ගමන වඩාත් සැහැල්ලුවෙන් ගත කරන්න පුළුවන්. ඔබ තනිව සිටිනවා වගේ දැනුණත්, මේ අත්දැකීම හරහා යන තවත් දහස් ගණනක් අම්මලා ලෝකයේ ඉන්නවා. අවශ්‍ය වෙලාවට උදව් ඉල්ලන්න, ඔබේ හැඟීම් බෙදාගන්න, සහ ඔබ ගැන කරුණාවෙන් සිතන්න.
ඔබ මේ ලෝකයට අලුත් ජීවිතයක් ගෙන එන අසාමාන්‍ය ගමනක ඉන්නවා. ඒ නිසා ඔබත් ආදරය, විවේකය සහ සැලකිල්ල ලැබීමට සුදුසුම කෙනෙක්


Leave feedback about this