ඔක්තෝබර් 24, 2025
Blue Olive Parent Pulse Article Featured Image
විශේෂී ලිපි

නිල් වෙරළු ගැන මේ කරුණු දන්නවද?

මේ වෙරළු ගැන… වෙරළු කිව්වට නිකම්ම නිකන් වෙරළු ගැන නම් නෙවෙයි…
ඔන්න වෙරළු කිව්වම කටට කෙළ උනනවා නේද?
මොකද පැහුණු වෙරළු කහ, ලුණු දාලා තම්බලා අච්චාරු දාලා කන්න ගොඩාක් අය හරිම පෙරේතයි. ඒ වගේම ඉදුණු වෙරළුත් තම්බන්නේ නැතුවම අච්චාරු දැම්මම වෙනස් රසයක් දෙනවා.

ඒත් මේ ඒ ගැන නෙවෙයි… නිල් වෙරළු ගැන

නිල් වෙරළු ගහක් මේ වෙනකොට නම් හොයා ගන්න ටිකක් විතර අපහසුයි. නුවර පැත්තට වෙන්න නිල් වෙරළු දැකගන්න පුළුවන්. මේ ගෙඩි හටගන්නෙ හැම අවුරුද්දකම ජනවාරි සහ පෙබරවාරි කියන කාලවලදි තමයි. ඉන්දියාව, නේපාලය, තායිලන්තය, බංගලාදේශය වගේ රටවල්වල නම් නිල් වෙරළු බහුලව දැකගන්න පුළුවන් කියල සඳහන් වෙනවා.

වෙරළු ගහට වඩා නිල් වෙරළු ගහ ටිකක් හැඩි දැඩියි. වෙරළු ගෙඩිය නම් රගර් බෝලයක් වගේනේ. ඒත් නිල් වෙරළු ගෙඩිය රවුම් හැඩයක් ගන්නවා. හැබැයි වෙරළුවල වගේම නිල් වෙරළු ඇටයෙත් තියෙන ගැටති ස්වභාවය නම් මේ දෙවර්ගයෙහිම හැඩය දිහා බැලුවහම වටහාගන්න පුළුවන්.
නිල් වෙරළු ගැන ඔබ නොදන්න කතාව තමයි දැන් කියන්න යන්නේ.

වෙරළු වගේම නිල් වෙරළුත් පළතුරක් විදියටත් හඳුන්වන්න පුළුවන් වුණාට නිල් වෙරළු වැඩියෙන්ම භාවිත කෙරෙන්නේ වෙනත් කාරණයකට. නිල් වෙරළුවලට කියන තවත් නමක් තමයි රුද්‍රාක්‍ෂ කියන්නේ. රුද්‍රාක්‍ෂ කියන මේ විශේෂිත නමින් නිල් වෙරළු හඳුන්වන්නත් සුවිශේෂී හේතුවක් තියෙනවා.
නිල් වෙරළුත් සමග ශිව දෙවියන්ගේ නාමය එකට බැඳී පවතින නිසාත් රුද්‍රාක්‍ෂ එහෙමත් නැත්නම් නිල් වෙරළු ශිව දෙවියන්ගේ කඳූළින් හටගත් බීජයක් විදිහට සැලකෙන නිසාත් මේ රුද්‍රාක්‍ෂ කියන නම නිල්වෙරළු වලට ලැබුනා කියලා තමයි සඳහන් වෙන්නෙ.

නිල් වෙරළු කියන්නේ ගොඩ දෙනෙක් ඉතා භක්තියෙන් යුතුව කතා කරන ගෙඩි විශේෂයක් බවට පත්වෙලා තියෙනවා. බැතිමතුන් විශ්වාස කරන්නේ නිල් වෙරළු බීජ එහෙමත් නැත්තං රුද්‍රාක්‍ෂ ඇට පැළදීමෙන් ශිව දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා කියලයි. පැරණි ඉන්දියානු වේද පොත්වලට අනුව නම් රුද්‍රාක්‍ෂ නැත්නම් නිල් වෙරළු කියන්නේ ශිව දෙවියන් විසින් මනුෂ්‍යයින්ට දුන්න වටිනාම වස්තුවක්. ශිව දෙවියන්ගේ මාලයේ තියෙන්නෙත් මේ රුද්‍රාක්‍ෂ හෙවත් නිල් වෙරළු ඇට කියලත් සමහර තැන්වල සඳහන් වෙලා තියෙනවා.

මේ රුද්‍රාක්‍ෂ බීජයට ශිව දෙවියන්ගේ ආකර්ෂණය, බලය හා ආශිර්වාදය නොඅඩුව හිමිවෙන නිසාම මෙයට ලෙඩ සුව කිරීමේ මහා බලයක් ඇති බවට පිළිගැනීමකුත් තියෙනවා. ඒ වගේම මේ රුද්‍රාක්‍ෂ ඇටය එහෙමත් නැත්නම් බීජයට අනවශ්‍ය විකිරණ උරා ගන්නවා කියලා විද්‍යාත්මකව සොයා ගෙනත් තියෙනවා කියලා සඳහන් වෙනවා. අධික රුධිර පීඩනය, මානසික රෝග, බිය, උගුරේ හටගන්නා ආබාධ ආදියට රුද්‍රාක්‍ෂ බීජ පැළඳීම මෙන්ම රුද්‍රාක්‍ෂ බීජ දිය බඳුනකට දමා තබා එම ජලය පානය කිරීමෙන් ද රෝග සුව වෙන බවට පිළිගැනීමක් තියෙනවා.

ශරීරයේ ඇති වන ලප, කැළැල්, තුවාල, පලු ආදියට රුද්‍රාක්‍ෂ බීජය එහෙමත් නැත්නම් නිල වෙරළු ඇටය කුඩුකර ආලේප කිරීමෙන් ඒවා සුව වෙනවා කියලත් පැවසෙනවා.

ඒත් එවැනි වස්ථාවකදී නිල් වෙරළු නැත්නම් රුද්‍රාක්‍ෂ හිතු මතේ භාවිත කරන්නත් පුළුවන් කමක් නෑ. මොකද ඒ වෙනුවෙන් වෙන් වූ විශේෂිත වත් පිළිවෙත් තියෙන නිසා. ඒ වත් පිළිවෙත් ගැන නිසි දැනුවත් බවක් ජ්‍යෝතිෂවේදීන් සතුයි. ජ්‍යෝතිෂවේදීන් පවසන අන්දම නිසි ලෙස වත් පිළිවෙත් වලින් තොරව පැළදීමෙන් නියමාකාරයෙන් අපේක්ෂාකරන දෙය ලැබෙන්නේ නැහැ කියලා තමයි සඳහන් වෙන්නෙ.ඒ නිසා අවශ්‍ය අවස්ථාවකදී ඔවුන්ගේ සහයා ලබාගැනීමට අපි කාටත් සිද්ද වෙනවා. හැබැයි ඒ කතාව සමහර ජ්‍යෝතිෂවේදීන් ඔවුන්ගේ වාසියට පතුරුවා ගත්ත කතාවක් වෙන්නත් බැරි නෑ.


Leave feedback about this

  • Quality