උත්තරීතර මව්පදවිය ගැන සිහින දකිමින් දින ගෙවන කාන්තාවක පළමු පියවරේ සිටම ඒ පිළිබඳ දැනුවත් වීම වඩා වැදගත් වේ. එසේම ඒ සඳහා ප්‍රායෝගිකව ඔබ විසින් ඊට සූදානම් විය යුතුය. තම පළමු දරුවා ලැබීමට බලාපොරොත්තු වන කාන්තාවකගේ නම් යම් තරමක සූදානමක් දැකිය හැකි වුවත් එයද සතුටුදායක මට්ටමක නොපවතියි. මේ අතර බොහෝ විට විවාහක වුවත් තම දෙවන තුන්වන දරුවා ලැබෙන්නේ අනපේක්‍ෂිත ගැබ් ගැනීමක් හේතුවෙනි. එහෙත් අන් සියල්ලන් සේම දරුවන් පිළිසිඳ ගැනීමෙහි පටන් ප්‍රසූතිය දක්වාද සියල්ල සැලසුම් සහගතව සිදු කිරීම ඉතා වැදගත් කාරණාවක් වෙයි.
දරුවන් ලබන වයසේ කාන්තාවක් තුළ ඒ පිළිබඳව ඇති නොදැනුවත් බව පුදුම සහගතය. ඇතැම් කාන්තාවන් දරුවන් ලැබීම සම්බන්ධයෙන් දැනුවත් වීම සඳහා වෛද්‍යවරුන් හමුවන්නේ ද නැත. ඇතැම් කාන්තාවන් ෆෝලික් ඇසිඩ් හා විටමින් වර්ග ලබන්නේ කුමක් සඳහාද යන්නවත් නොදනී. මෙවැනි තත්ත්වයන් යටතේ දරුවකු පිළිසිඳ ගැනීමට පෙර සිට ඒ පිළිබඳව දැනුවත් වීම බොහෝසෙයින් වැදගත් වේ.
සමාජ රෝග, දුම්පානය, ස්ථූලතාවය යන තත්ත්වයන් දරුවන් ලැබීමේ හැකියාව අවම කරයි. ඔබ වියපත් වන තරමට දරුවන් පිළිසිඳ ගැනීමේ හැකියාව අඩුවන අතර ගබ්සා වීමේ ඉඩකඩ වැඩිය. දරුවෙකු පිළිසිඳ ගැනීම සඳහා බලපාන්නේ ඔබ ලිංගිකව එක්වන වාර ගණන නොවන අතරම පිළිසිඳ ගැනීමක් සිදුවන්නේ කාන්තාවගේ සරු කාලය තුළයි. ඔබටත් මෙවැනි කාරණා පිළිබඳ දැනුවත්භාවයක් නොමැති නම් වෛද්‍යවරයෙකු වෙත හෝ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවක් මගින් අදාළ දැනුවත්වීම ලබාගත හැකියි. ඔබේ පෙර සූදානම ඔබේත් දරුවාගේත් යහපත පිණිසිම වනු ඇත.
බොහොමයක් මිත්‍යා මතවලින් මිදී නිසි දැනුවත් වීම ලැබූ කළ ගැබිනි සමය සතුටින් ගත කිරීමට ඔබට අවස්ථාව උදාවනු ඇත. මෙම කාලය තුළ ශාරීරික අපහසුතා පැවතීම සාමාන්‍ය ස්වභාවය වුවත් ගැටලු අවම කරගැනීම සඳහා අවශ්‍ය තොරතුරු කිහිපයක් අපි ඔබට ඉදිරිපත් කරමු.
උදරය ක්‍රමයෙන් විශාල වන විට ක්‍රමයෙන් හුස්ම ගැනීමේ අපහසුතාවය මඟහරවා ගැනීම සඳහා කොට්ට වැඩි ප්‍රමාණයක් භාවිත කරන්න. දහවල් කාලයේ නියමිත දියර ප්‍රමාණය ලබාගෙන නින්දට යන අවස්ථාවේ වැඩි පුර දියර වර්ග පානයෙන් වැළකෙන්න. එවිට නිතර මුත්‍රා පිට කිරීමට සිදු නොවන අතර ඔබේ නින්දට බාධාවක් ඇති නොවේ.
- තේ, කෝපි වැනි කැෆේන් අඩංගු පානයන් නින්ද අවම කරන නිසා රාත්‍රියේදී එවන් පානයන් ලබා නොගැනීමට වග බලාගන්න
- ඔබට වේදනාවක් පවතී නම් වෛද්‍යවරයා නිර්දේශ කරන වේදනා නාශක පාවිච්චි කරන්න. ඖෂධ ලබාගැනීමට ඇති අනිසි බිය නිසා වේදනා විදිමින් නිදි වර්ජිතව සිටීම සුදුසු නැත.
- යොදය රහිත කිරි වීදුරුවක් නින්දට පෙර ලබාගත් විට එහි අඩංගු ලැක්ටොස් මගින් ශරීරයේ ඉන්සියුලින් උත්තේජනය කරන නිසා එමගින් කිරිවල අඩංගු ප්‍රෝටීන් කාණ්ඩ මොළය වෙත ඇතුළු වී ඔබට නින්ද ලබාදෙයි. ලැක්ටොස් ලබාගැනීම ඔබට සුදුසු නොවේ නම් මේ සඳහා සෝයා කිරි වීදුරුවක් ලබාගත හැකියි.
- දිවා කාලයේ අනවශ්‍ය ලෙස සයනය මත වැතිර සිටීමට නොකළ යුතුය. පරිගණක භාවිතයට හෝ රූපවාහිනිය නැරඹීම සඳහා සයනය මතට යාමෙන් වැළකෙන්න. මන්ද රාත්‍රී කාලයට ඔබ සයනය වෙත ගියද නින්ද ඔබ කරා නොඑනු ඇත.
- නිදිමත ඇති වන ආකාරයේ අඳුරු, සිසිල්, නිශ්ශබ්ද පරිසරයක් නිදන කාමරය තුළ ඇති කරගන්න.
- නින්ද නොයෑම අසාමාන්‍ය යැයි හැඟේ නම් වෛද්‍යවරයා වෙත යොමු වන්න
- උඩුබැලි අතට නිදන විට වැදෑමහ වෙත තෙරපුම ඇති වී දරුවා වෙත රුධිර සැපයුමට හා මවගේ හෘදය වෙත රුධිර සැපයුමට බාධා විය හැකි නිසා දකුණු හෝ වම් ඇලයට හැරී නිදාගන්න. වම් ඇලයට හැරී නිදයි නම් එය වඩා සුදුසු වේ.
ගැබිනි සමය තුළදී සිතේ සතුටින් සැනසීමෙන් ගත කිරීම ඔබටත් දරුවාටත් දෙදෙනාටමට වැදගත්ය. විශේෂයෙන් ගැබිනි සමය තුළ මානසික ආතතිය ඇති වීම ස්වභාවික වන අතරම ඒ හේතුවෙන්ම මවගේ රුධිර පීඩනය ඉහළ යාම දක්නට ලැබෙයි. එහෙත් මෙම තත්ත්වය පාලනය කරගැනීම සඳහා සංගීතය උපයෝගී කරගත හැකි බව ඔබ දන්නවාද? සෞම්‍ය සංගීතය, පිරිත් වැනි දෙයට සවන්දීම මඟින් ගැබිණි සමයේදී ඇතිවන ආතතියෙන් මිදීමට ඔබටත් අවස්ථාව ලැබේ.
ගැබිනි සමයේ ගෙවන මාස 9 ඇතුළත ඔබ තුළ ඇතිවන ශාරීරක, මානසික වෙනස්කම් නිසා ලිංගික ඇසුරේදී සුපුරුදු ලෙස හැසිරීම හෝ ඉරියව් පැවැත්වීමේ අපහසුතා පැවතිය හැකි නමුත් වඩා නිර්මාණශීලී ලෙස සිතීමෙන් කටයුතු කළමනාකරණය කරගැනීමට හැකිවේ. ගර්භණී සමය තුළ ඔබේ ප්‍රජනන පද්ධතිය හා සම්බන්ධ වන ශරීර ස්ථාන වෙත රුධිර සැපයුම වඩා කාර්යක්‍ෂමව සිදුවීමයි. කෙසේ වුවත්, ගැබිණි සමයේදී ලිංගිකව එක් වීම මගින් දරුවාට හානි වෙතැයි සිතීම හා ගබ්සාවීමක් සිදුවේ යැයි යන වැරදි මතයක් පවතී නම් ඔබ ඉන් අත්මිදිය යුතුය. ඔබේ සම්බන්ධකම් පිළිබඳව කුස තුළ සිටින දරුවා කිසිසේත් නොදන්නා අතර ස්වාමියාගේ සිත තුළද මෙවන් ආකාරයේ වැරදි මත තිබේ නම් ඒවා නිවැරදි කිරීමටද ඔබ කටයුතු කළ යුතු වෙයි. නමුත් අවදානම් මව්වරු කොටසේ සිටින කාන්තාවක් නම් මේ පිළිබදව වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න.
ගර්භණී සමය තුළ කා හටත් පැවතිය හැකි පාද ඉදිමීම්, කොන්දේ වේදනා, වමනය වැනි තත්ත්වයන් මෙන්ම ලිංගේන්ද්‍රිය අවට ඇති වන කැසීම්, ශ්‍රාවයන් පිටවීම්, දුර්ගන්ධය හා ඉඳහිට ඇති වන රුධිර පිටවීම්ද දක්නට ලැබෙයි. මෙම සමය තුළ යෝනි මාර්ගය අවට නිතර තෙත් ගතියක් පවතින්නේ විවිධ ශ්‍රාවයන් පිටවීම නිසයි. එය එසේ වුවත් යෝනි මාර්ගය අවට නිතරම තෙත්ව තිබීම නිසා යම් යම් බැක්ටීරියා වර්ධනයක් හා ඒ ආශ්‍රිත ආසාදන තත්ත්ව ඇති විය හැකියි. එය බිය විය යුතු කාරණාවක් නොවුණද දුර්ගන්ධය හෝ රුධිරය පිටවීම අසාමාන්‍ය ලෙස තිබේ නම් එය වහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු අවස්ථාවක් බව සිහියේ තබාගත යුතුයි. තෙත් ගතිය මඟහැරී වියලි බව ඔබට ගැටලුවක් වන අවස්ථාද තිබිය හැකියි. එහෙත් එවැනි දේ සඳහාද පිළියම් ඇති නිසා කලබල නොවී ඔබේ වෛද්‍යවරයා වෙත යොමුවන්න.
තවද ඔබ තරයේ සිහි තබා ගත යුතු තවත් කරුණු කිහිපයක් ද වේ.
- ඔබ අවට සිටින අය කුමක් කීවත්, කුමන උපදෙස් දුන්නත් ඔබ හා දරුවා පිළිබඳ තීරණ ගන්නේ ඔබයි
- ඔබගේ මානසික ශක්තිය, ආත්ම විශ්වාසය ඔබ විසින්ම ගොඩනගා ගත යුතුයි.
- සියල්ලෙන් පරිපූර්ණ විය යුතු නොවේ. අවශ්‍ය වන්නේ නිසි සැලකිල්ලයි
- දරුවා සමග ඔබේ ජීවිතය වෙනස් වේ. ඒ වෙනස සතුටින් පිළිගන්නට සූදානම් වන්න.
- දරුවන් බිහිකරීම, වැඩීම පිළිබඳ එක් එක් පුද්ගලයා තුළ ඇත්තේ වෙනස් වූ අදහස්ය. ඔබ ඒ සියල්ල සැලකිල්ලට ගත යුතු නැත.
අප ඉහත විස්තර කර ඇත්තේ ගැබිනි සමය තුළ ඇතිවන ගැටලු මඟහරවා ගනිමින් වඩාත් සැනසිලිදායක ලෙසත් ප්‍රීතිමත් ලෙසත් ගත කිරීමට අවශ්‍ය කාරණා කිහිපයකි. මේ සියලු කරුණු සැලකිල්ලට ලක් කරගනිමින් වඩා හොඳ දරු උපතකට කායිකවත් හා මානසිකවත් සූදානම් වන්නට ඔබට හැකියි.
Leave feedback about this