පෙබරවාරි 5, 2026
Parent Pulse Article Featured Image Malaria Mosquito
විශේෂී ලිපි

මැලේරියාව බෝවෙන්නෙ කොහොමද?

මැලේරියාව ලංකාවෙන් තුරන් කරලා නං කොහොමද ලංකාවට ආපහු මැලේරියාව එන්නේ? ඒක තේරුම් ගන්න මැලේරියා මදුරුවයි, මැලේරියාව හදන පරපෝෂිතයයි ගැන ඉගෙන ගන්නම වෙනවා.

මැලේරියාව හදන පරපෝෂිතයාගේ නම තමයි ප්ලැස්මෝඩියම්. පියවි ඇසට පේන්නෙ නැහැ. අන්වීක්ෂයෙන් බලලා අඳුර ගන්න පුළුවන්. පරපෝශිතයෙක්ට තනියම ජීවන චක්‍රය සම්පූර්ණ කරගන්න බෑ. ඒකට පෝෂකයෙක් ඕන වෙනවා. හොස්ට් කියලායි අපි කියන්නෙ. පරපෝශිතයා, හොස්ට් කෙනෙක්ට ඇතුලු වෙලා තමා ජීවත් වෙන්නෙ.

මේ පරපෝෂිතයාගේ ජීවන චක්‍රය සම්පූර්ණ කරන්න පෝෂණය දෙන පෝශකයො දෙන්නෙක් ඕනේ. මේ පරපෝෂිතයගේ ජීවන චක්‍රය සම්පූඍ්ණ වන්නේ මිනිසාගේ සහ මදුරුවාගේ සිරුර තුළ කොටස් දෙකකටයි.

ප්ලැස්මෝඩියම්ගේ ලිංගික චක්‍රය සම්පූර්ණ වන්නේ මදුරුවාගේ සිරුර තුළයි. ඒ වගේම මැලේරියා පරපෝෂිතයා ඕනෑම මදුරුවෙකුගේ සිරුර තුළ නොසෑදෙන අතරම ඇනෝෆිලස් මදුරුවාගේ සිරුර තුළ පමණක්ම සෑදෙයි. ඒ වගේම ප්ලැස්මෝඩියම්ගේ අලිංගික වර්ධනය සිදුකිරීමට මිනිස් සිරුරේ අක්මාව හා රුධිරය තුලට ගමන් කරනවා. එතැනදි මිනිසා දෙවන පෝශකයා එහෙම නැත්නම් අතරමැදි පෝෂකයා බවට පත්වෙනවා.

මිනිසාගේ සිරුරේ සිටින පරපෝශිතයව මදුරුවගෙ සිරුරට ගෙන යෑම හා මදුරුවාගේ සිරුරේ සිටින පරපෝශිතයව තවත් මිනිසෙක් වෙත රැගෙන යන්නේත් මදුරුවා හරහාමයිඒ කියන්නෙ මෙතනදි ඇනෝෆිලස් මදුරුවා රෝගය අරන් යන වාහකයාත් වෙනවා.

ඇනෝෆිලස් ගැහැණු මදුරුවෙක් මිනිසෙකුගේ රුධිරය උරා බීමට සම මතට විදින අවස්ථාවේදී කෙළ හරහා මේ පරපෝෂිතයා මිනිස් සිරුරට ඇතුළු කරනවා. මිනිස් සිරුරට ඇතුළු වූ පරපෝෂිතයා අක්මාව තුලට ගොස් පරපෝෂිතයන් විශාල ප්‍රමාණයක් හදනවා.

ඊට පසු මෙන්න මේ පරපෝෂිතයා සෑදූ අලුත් පරපෝෂිතයන් රුධිරයට එකතු වෙනවා. මේ පරපෝෂිතයෝ රතු රුධිර සෛල ආක්‍රමණය කරගෙන ඒවා ඇතුළෙ වර්ධනය වෙනකොට රතු රුධිර සෛල පුපුරා විනාශ වෙනවා. ලේ මදකම, ඔළුවේ කැක්කුම, උණ, වෙවුලලා උණ ගැනීම වගේ රෝග ලක්ෂණ මතුවෙන්නේ එවිටයි. ඒ අනුව රෝග ලක්ෂණ මතු වෙනකොටත් ඒ පුද්ගලයා ආසාදනය වෙලා සතියක් දෙකක් හෝ ඊට වඩා වැඩි කාලයක් ගත වී අවසන්.

මේ ආකාරයට මැලේරියා පරපෝශිතයගෙන් ආසාධනය වුණු මිනිසාගේ රුධිරයේ ආසාදිත පරපෝෂිතයා සිටිනවා. මේ පුද්ගලයාගෙන් වෙනත් ඇනෆිලස් ජාතියේ මදුරුවෙක් රුධිරය උරා බීමෙන් ඒ පුද්ගලයාගේ රුධිරයේ සිටින පරපෝෂිතයා මදුරුවගේ ආහාර මාර්ගය දිගේ මදුරු ඇඟට එනවා. ඒ කියන්නේ නිරෝගී මදුරුවා ආසාදිත පුද්ගලයාගෙන් ආසාදනය වෙනවා.

මුලින්ම සිදු වුණේ ආසාදිත මදුරුවගෙන් නිරෝගී පුද්ගයෙක් ආසාදනය වීම වගේම දැන් වෙන්නේ ආසාදිත පුද්ගලයෙකුගෙන් නිරෝගී මදුරුවෙක් ආසාදනය වීමයි. හැබැයි ඒකෙන් මදුරුවා ලෙඩ කරන්නෙ නෑ. නිකම්ම මදුරුවගෙ සිරුරට වී සිටිනවා පමණයි.

මදුරුවාගේ සිරුර තුළ මේ පරපෝෂිතයා තම ආහාර මාර්ගය ආශ්‍රිතව ලිංගික ප්‍රජනනයෙන් පරපෝෂිතයන් හදනවා. ඉන්පසුව ඒ පරපෝෂිතයෝ මදුරුවාගේ කේට ග්‍රන්ථි වලට පැමිණෙනවා.

මේ දෙවනි වරට ආසාදනයට ලක් වූ මදුරුවා වෙනත් නිරෝගී පුද්ගලයෙකුට දෂ්ඨ කිරීමේදී මදුරුවාගේ කේට ග්‍රන්ථෙවලින් ඒ පරපෝෂිතයො ඒ පුද්ගලයාගේ රුධිරයට එක් වෙනවා. එවිට ඒ පුද්ගලයා මැලේරියාවට ගොදුරු වෙනවා. මෙන්ම මේ විදියට මැලේරියාව පැතිරීම සිදු වෙනවා.

මේ පැතිරීම වළක්වන්න නම් එක්කෝ මදුරුවෙක්ගෙන් මිනිසාට ආසාදනය වීම නතර විය යුතුයි. ඒසේ් නැතිනම් මිනිසාගෙන් මාදුරුවාට ආසාදනය වීම නතර විය යුතුයි. ඒ කියන්නේ මදුරු දෂ්ඨන නතර කළ යුතුයි. නැතිනම් මිනිසුන් මදුරුවන්ට දෂ්ට කරන්නට ඉඩ නොදිය යුතුයි.

ආකාර කිහිපයකට මෙය කළ හැකියි.

  • ඇනෝෆිලස් මදුරුවෝ සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියොත් මේ පරපෝෂිතයට වැඩෙන්න ඉඩකඩක් නැහැ
  • මදුරු දෂ්ඨනවලින් වැලකිය යුතුයි (මදුරුවෝ පලවා හැරීම හෝ මදුරු විකර්ෂක භාවිතයෙන් මදුරු දෂ්ඨනවලින් වැලකීම)
  • මදුරුවන් බෝවන ස්ථාන හඳුනා කීටයො විනාශ කිරීමට ක්‍රමවේද සකස් කිරීම
  • පරපෝෂිතයන් ඉවත් කිරීම

2016 ඉදන් මේ වෙන තෙක්ම ලංකාවෙන් දැනට මැලේරියා හදන පරපෝශිතයො අයින් කරලා තියෙන්නේ. හැබැයි ඇනෝෆිලස් මදුරුවෝ ලංකාවෙ ඉන්නවා. මේ මදුරුවට පිටරටකින් හරි ප්ලැස්මෝඩියම් පරපෝෂිතයෙක් හම්බවුනොත්, එතනින් පස්සේ අපේ මදුරුවා අසාධනය වෙනවා. එයාගෙන් මිනිසා ආසාධනය වෙනවා. ඒ මිනිසා දෂ්ඨ කිරීමෙන් ඊළඟ මදුරුවා අසාධනය වෙනවා. ඒ මදුරුවා දෂ්ඨ කිරීමෙන් තවත් මිනිසෙක්ට ආසාදනය විය හැකියි.

පරපෝෂිතයෝ ඕන තරං ඉන්න රටවල් ලංකාව වටේ තියෙනවා. ඒ රටක ඉන්න ආසාදනය වෙච්ච පුදගලයෙක් මේ පරපෝෂිතයෙක්ව ගුවනින්, නැවෙන්, මුහුදෙන්, නීත්‍යානුකූලව වගේම නීති විරෝදීවත් ලංකාවට පැමිණිය හැකියි.

ඔබ මැලේරියාව බහුල රටක සිට ලංකාවට එනවා නම් හෝ ඔබ මැලේරියාව බහුල රටකට යනවා නම් ඔබට ඔබ හා රට වෙනුවෙන් ලොකු වගකීමක් තියනවා.
පිටරටක සංචාරය කරලා ආපහු ලංකාවට එන කෙනෙක් නම්, ඔබට උණ ඇත්නම් මූලිකවම මතකයට නැගිය යුතු දේ වන්නේ ඒ උණ මැලේරියාව විය හැකි බවයි. රෝග ලක්ෂණ පෙන්නම් කළ වහාම ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.

ළගම ඇති රෝහලේ මැලේරියා පරීක්ෂණාගාරයට ගොස් රුධිර පරීක්ෂාවකට යොමු වෙන්න.
ඔබට ලඟම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මැලේරියා මර්ධන ක්ෂේත්‍ර නිලධාරි මහතා හමුවී උපදෙස් ලබා ගැනීම වගේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය ක්ශේත්‍ර නිලධාරි මහතාගේ දුරකථන අංකය ඔබ ළඟ තබාගන්න

මැලේරියාව ඇති රටක සිට ලංකාවට එන අයගේ තොරතුරු රැස් කර, ළඟටට ඇවිත් අවශ්‍ය රුධිර පරීක්ෂණ සිදු කර වරින් වරන වසරක් ගත වන තුරු පරීක්ෂාවට ඔබ ලක්කරන්නේ අවදානමෙන් මිදීමටයි. ඔබ අනිවාර්යෙන්ම එයට සහයෝගය ලබා දිය යුතු වන්නේ පරපෝෂිතයා බොහෝ කල් ඔබේ සිරුරේ සිටිය හැකි නිසයි.

මැලේරියාව ඇති රටකට යන විට අවදානම අවම කිරීමට විදෙස් ගත වීඹට පෙර ඔබට හමුවී, ඔබව දැනුවත් කර, අවශ්‍ය ඖෂධ පිටත් වීමට පෙර ලබා දී සංචාරය අතරතුර පාවිච්චි කළ යුතු ඖෂධ සහ ඒවා භාවිත කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කර නැවත ලංකාවට පැමිණි පසු වසරක් ගත වන තුරු ඔබව මැලේරියාව වෙනුවෙන් ආරක්ෂාව සපයන්නේ ඔවුන් විසින් බව අමතක නොකරන්න.

මැලේරියාව සඳහා ලබා දෙන ඖෂධ ලබා දුන් විගස ඇතැමුන් බොන්නේ නැති වුවත් මැලේරියාව හැදෙනවාට වඩා ඖෂධ ලබා ගැනීම ආරක්ෂිත බව මතක තබා ගන්න.

ඔබේ සිරුරේ සිටින මැලේරියා පරපෝෂිතයට පහසුවෙන්ම ඔබට දෂ්ට කරන ඊළඟ මදුරුවාව ආසාදනය කළ හැකිවා සේම ඒ මදුරුවට ඊගාවට ලංකාවේ ඉන්න ඊළඟ ලුද්ගලයා දස්ඨ කරන ඒ පුද්ගලයාව ආසාදනය කළ හැකියි. රටක් බේරාගන්නා වගකීමේ කොටසක් ඔබටත් ඇති බව අමතක නොකරන්න.
ඒ හින්දා මැලේරියාව ආනයනය වෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා දැඩි උපදෙස් පිළිපැදිය යුතුයි.
මැලේරියාව ඇති රටකට ගොස් මැලේරියාව හදා ගන්නේ නැතුව ඉන්න, එහෙම රටකින් මැලේරියාව ආපහු ලංකාවට නොගෙනෙන්න නම් අවශ්‍ය උපදෙස්, ඖෂධ හා රුධිර පරීක්ෂණ නොමිලේ කර ගැනීමට මැලේරියා මර්දන ව්‍යාපාරය හරහා හෝ ප්‍රාදේශීය මැලේරියා ඒකකය වෙත යොමු වෙන්න.


දැනුවත් කිරීම

කිලෝෂිනි හෙන්දවිතාරණ
ප්‍රාදේශීය මැලේරියා වෛද්‍ය නිලධාරී
ප්‍රාදේශීය මැලේරියා ඒකකය
අනුරාධපුර

Leave feedback about this

  • Quality