ඇයි නැත්තෙ අම්මලා දරුවන්ට ආදරේ නැතුවයැ. අම්මෙකුට මේ ලෝකේ තියෙන බැඳීම් වලින් අතාරින්නම බැරි බැරි බැඳීම දරුවොත් එක්ක තියෙන බැඳිමනේ. ඔය උඩ තියෙන ප්‍රශ්නය මට අහන්න හිතුනේ අද ඉස්කෝලෙ ඇරිලා පුතා එක්ක එනකොට දැක්ක දේවල් කිහිපයක් නිසා.
අවුරුදු හයක පුතෙක්ව ස්කූටියේ ඉන්දවගෙන යන අම්මා කෙනෙක්. අවුරුදු හතක අටක දුවෙක් ඉදිරියේ තියාගෙන ගිය අම්මා කෙනෙක්, පිටි පස්සෙ වාඩි වෙලා අම්මව තදින් අල්ලගෙන යාන්තමට ඇස් පියවෙන දුවෙක්, ඒ බයිසිකලේම ඉදිරියෙ අවුරුදු පහක විතර පුතෙක්. මේ පැටව් එක්කෙනෙකුටවත් හෙල්මට් දාලා තිබුණෙ නැහැ.
ඔන්න ඔය දසුන් තමයි මට මේං මේක ලියන්න පෙළඹුවේ.
නොසැකිලිමත් රියදුරෙක් නිසා ඉස්කෝලේ ළඟම සුදු ඉර උඩම මගේ පුතා හැප්පිලා දකුණු කකුලෙ දණ හිසට පහළ අස්ථියක් බිඳිලා රෝහල් ගත කළා. මගේ ජීවිතේ මම අත්විඳපු අමිහිරිම මතකයක්. පුතා අම්මෙ රිදෙනවා කියලා අඬන වාරයක් පාසා මම කොයි තරම් නම් කඩා වැටුනද? එයාගේ වේදනාව මට ගන්න පුලුවන් වුණා නම් මම ගන්නවා. දවස් පහක්ම නිදි නැති රැයවල් ගෙවිලා ගියේ.
පුතා ඇතුලත් කරපු දවසෙම ඒ වාට්ටුවටම පුතාගෙම වයසේ පුතෙක් ඇඩ්මිඩ් කළා. අම්මත් එක්ක ස්කූටියේ යද්දි බස් එකකට ඉස්සර කරන්න හදද්දි ස්කූටිය බස් එකේ වැදිලා පුතා විසි වෙලා ගිහින්. ඒ පුතාගේ වම් කකුලේ අස්ථි දෙතැනකින් බිඳිලා තිබුණා. කුකුලේ අතේ හම ගිහින් ලොකු තුවාල තිබුණා. නළලත් ඔලුවත් තුවාල වෙලා තිබුණා. අම්මට නම් සුලු තුවාල කීපයක් විතරයි තිබුණෙ.
“හෙල්මට් එකක් නොදා ඉඳලත් මේ දරුවගේ ඔලුව බේරුණු එකට සතුට වෙන්න ” කියලා ඩොක්ටර් ඒ අම්මාට කිව්වා
මුළු වාට්ටුවම දෙවනත් වෙන්න මේ දරුවා අපි හිටිය දවස් පහේම ඇඬුවා. ඒ අම්මා ළඟට එද්දි කෑ ගහලා බැන්නා.
“අම්මා යන්න මං ළඟට එන්න එපා… ඔයා නිසා තමයි මාව හැප්පුණේ, අනේ මට රිදෙනවෝ අනේ තාත්තේ ඔයා එන්නකො… දෙයියනේ මට බෑ රිදෙනවෝ, අනේ මගෙ බුදු හාමුදුරුවනේ මාව බේර ගන්න, මට රිදෙනවා”
ඔය විදිහට ඒ දරුවගේ විලාපය ඇතුලෙ අහගෙන ඉන්න බැරි තරම් වේදනාවක් ගොනු වෙලා තිබුණා. ඒ දරුවගේ තාත්තා රට ගිහින් අම්මා තමයි ගෙදර වැඩ තනියම කරගෙන තියෙන්නෙ. ප්‍රවාහනයට පහසුවක් නිසා ස්කූටියක් අරන් තිබුණේ.
පුතා ඒ අම්මට ළඟට එන්න නොදෙන කොට අම්මා අඬනවා. ඇත්තටම ඒ දරුවාගේ වේදනාවෙ තරම කොයි තරම් වෙන්න ඇති ද අම්මව ප්‍රතික්ෂේප කරන්න තරම්. අම්මට තමන් ගැන දැනෙන්න ඇති පශ්චාත් තාපය කොයි තරම් වෙන්න ඇතිද?
ඉතින් මට කියන්න තියෙන්නෙ ස්කූටියක දරුවෙක් ගෙනියනව නම් උපරිම ආරක්ෂාවෙන් ගෙනියන්න.
හෙල්මට් එකක් නම් අනිවාර්යෙන් ඒ පුංචි ඔලු ගෙඩිවලට දාන්න.
පුලුවන් නම් කුෂන් ගතියට තියෙන් ජැකට් එකක් කලිසමක් අන්දවන්න.
අපි කොයි තරම් පරිස්සම් වුණත් පාරේ වාහන පරිස්සමින් යන්නෙ නැහැ කියන එක සිහියෙ තියාගන්න.
අනිත් කාරණය දරුවන්ට හුළං පාරත් එක්ක නින්ද යනවා. ඒ නිසා ඒ ගැනත් අවධාවෙන් ඉන්න.
දෙයක් වුණාට පස්සෙ අඬලා වැලපිලා දුක් වෙලා වැඩක් නැහැ….
දරුවො පරිස්සමින් ස්කූටියේ ගෙනියන්න හොඳේ…
දිශාන්ති වෙදගේ
මනෝ උපදේශන ඩිප්ලෝමාධාරීණී
මානසික සෞඛ්‍ය සරසවිය