ලස්සන විලාසිතා රටාවකට යොමු වන අද සමාජයේ හිසකෙස් වර්ණ ගැන්වීම යනු අතිශය ජනප්‍රිය අංගයකි. එය හුදෙක් සුදු කෙස් වසා ගැනීමට කරන දෙයක් පමණක් නොව, තම පෙනුමට නවීන බවක් හා ආකර්ෂණීය බවක් එක් කර ගැනීමටත්, තම පෞරුෂය ඉස්මතු කර දැක්වීමටත් උපකාරී වන ප්‍රබල මෙවලමකි. කෙසේ වෙතත්, හිස කේ වර්ණ ගැන්වීමේදීත් ඉන් පසුවත් නිසි අවධානයක් යොමු කිරීම ඉතාම වැදගත් කරුණකි.
වර්ණ ගැන්වීමේ සාර්ථකත්වය රඳා පවතින්නේ පූර්ව සූදානම මතයි.
වර්ණ ගැන්වීමේදී පළමු හා වැදගත්ම පියවර වන්නේ සායමේ ඇති රසායනික ද්‍රව්‍යවලට (විශේෂයෙන් PPD – Paraphenylenediamine වැනි ද්‍රව්‍යවලට) ඔබ සංවේදීදැයි පරීක්ෂා කිරීමයි. හිස කේ වර්ණ ගැන්වීමට පෙර දිනක වර්ණකයේ ඉතා කුඩා ප්‍රමාණයක් කන පිටුපස හෝ වැලමිටේ ඇතුළු පැත්තේ ආලේප කර තබා ගන්න. දැවිල්ල, කැසීම, රතුවීම, හෝ ඉදිමීම වැනි ලක්ෂණ පැය 48ක් ඇතුළත ඇති වුවහොත්, ඔබ එම වර්ණකය භාවිත කිරීමෙන් වැළකී සිටිය යුතුය.
හානියට පත් කෙස් කොටස් එනම් කෙස් අග පැලී හෝ අධික ලෙස හානි වී ඇත්නම්, වර්ණ ගැන්වීමට පෙර එම කොටස් කපා ඉවත් කරන්න. හානියට පත් කෙස් මත වර්ණය අසමාන ලෙස තැන්පත් විය හැකි අතර එමගින් එම හිසකේවලට තවදුරටත් හානි විය හැකිය. වර්ණ ගැන්වීමට පැය 24කට හෝ 48කට පෙර කෙස් පිරිසිදු කිරීමෙන් වැලකී සිටිය හැකි නම් හිස්කබලේ ඇති ස්වභාවික තෙල් තට්ටුව සායම්වල රසායනික ද්‍රව්‍යවලින් හිස්කබල ආරක්ෂා කිරීමට උපකාරී වේ.
ඔබ තෝරා ගන්නා වර්ණය ඔබේ සමේ ස්වභාවික පැහැයට (Cool, Warm, Neutral) ගැළපෙනවාද යන්න පිළිබඳව රූපලාවන්‍ය පිළිබඳ විශේෂඥයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම වැදගත්ය. නොගැළපෙන වර්ණයක් නිසා සමේ පැහැය අවපැහැ ගැන්වී පෙනීම සිදුවිය හැකිය. ඔබ තද පැහැති කෙස් කළඹක් ඇති අයෙක් නම් සහ ඉතා සැහැල්ලු (Blonde) හෝ ෆැෂන් කලර් එකක් තෝරා ගන්නේ නම්, අනිවාර්යයෙන්ම බ්ලීච් කිරීමට සිදු වේ. බ්ලීච් යනු හිසකෙස්වල ස්වභාවික වර්ණය ඉවත් කරන ඉතා ප්‍රබල රසායනික ක්‍රියාවලියකි. මෙය වෘත්තීය රූපලාවන්‍ය ශිල්පියෙකු ලවා පමණක් සිදු කරවා ගත යුතුය.
වර්ණක තෝරා ගැනීම
- ඇමෝනියා රහිත නිෂ්පාදන තෝරාගැනීමෙන් ආසාදන, හිසකෙස්වලට වන හානිය අවම කර ගැනීමට සහ හිස්කබල දැවිල්ලෙන් ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබේ.
- වෙළෙඳපොළේ ඇති ව්‍යාජ සහ ප්‍රමිතියෙන් තොර වර්ණක භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වළකින්න. ප්‍රමිති සහතික ඇති, විශ්වාසදායක වෙළෙඳ නාම පමණක් භාවිත කරන්න.
නිවැරදිව ආලේප කිරීම
- හැකි තරම් වර්ණකය හිස්කබලේ නොගෑවෙන සේ ආලේප කරන්න. විශේෂයෙන් ස්ථිර (Permanent) ඩයි වර්ගවල ඇති රසායනික ද්‍රව්‍ය සම හරහා ශරීරගත විය හැකි බැවින් මෙය වැදගත් වේ.
- වර්ණකය, පැකේජයේ හෝ ඔබේ රූපලාවන්‍ය විශේෂඥයා විසින් උපදෙස් දෙන ලද නියමිත කාල සීමාවට වඩා වැඩි වේලාවක් හිසකෙස් මත තබා නොගන්න. එය හිසකෙස් අධික ලෙස වියළීමට සහ හානි වීමට හේතු වේ.
- වර්ණ ගැන්වීම අවසන් වූ පසු, හිසකෙස් සහ හිස්කබල මනාව පිරිසිදු වන තුරු සිසිල් හෝ මද රස්නය ඇති ජලයෙන් හොඳින් සෝදා හරින්න.
වර්ණය දිගු කාලයක් පවත්වා ගැනීමට සහ හානි අවම කර ගැනීමට නිසි රැකවරණය අත්‍යවශ්‍ය වේ.
නිසි සත්කාරක නිෂ්පාදන
- සාමාන්‍ය ශැම්පු සහ කන්ඩිෂනර් වෙනුවට වර්ණ ගැන්වූ හිසකෙස් සඳහාම (Colour Safe) නිපදවන ලද සල්ෆේට් රහිත නිෂ්පාදන භාවිත කරන්න. සල්ෆේට් රසායනිකයන් වර්ණය ඉක්මනින් ඉවත් කරයි.
- සතියකට වරක් හෝ දෙවරක් කන්ඩිෂනර් ප්‍රතිකාර (Deep Conditioning) හෝ පෝෂ්‍යදායී හෙයාර් මාස්ක් (Hair Mask) යොදා හිසකෙස්වලට අහිමි වූ තෙතමනය සහ ප්‍රෝටීන් නැවත ලබා දෙන්න.
තාපයෙන් ආරක්ෂා වීම
- කෙස් සේදීමේදී කිසිවිටෙකත් අධික උණුසුම් ජලය භාවිත නොකරන්න. එය කෙස් ගස විවෘත කර වර්ණ අණු වේගයෙන් පිටවීමට සලස්වයි.
- බ්ලෝ ඩ්‍රයර් (Blow Dry), කෙස් කෙළින් කිරීමේ යන්ත්‍ර (Straighteners) හෝ කර්ල් කිරීමේ යන්ත්‍ර (Curling Irons) වැනි තාප මෙවලම් භාවිත කිරීම අවම කරන්න. ඒවා භාවිත කිරීමට අවශ්‍යම නම්, ඊට පෙර හීට් ප්‍රොටෙක්ටන්ට් ස්ප්‍රේ (Heat Protectant Spray) එකක් අනිවාර්යයෙන්ම යොදන්න.
- අධික හිරු එළියට නිරාවරණය වීමෙන් වර්ණය මැකී යා හැකියි. එළිමහනේදී තොප්පියක් හෝ සන්ස්ක්‍රීන් සහිත කෙස් නිෂ්පාදනයක් භාවිතා කිරීම සුදුසුය.
- පිහිනුම් තටාකවල ඇති ක්ලෝරීන් සහ මුහුදු ජලයේ අධික ලුණු සාන්ද්‍රණය වර්ණය ඉක්මනින් මැකී යාමට හෝ වර්ණය වෙනස් වීමට හේතු විය හැක. පිහිනීමට පෙර කන්ඩිෂනර් ආලේප කර තොප්පියක් පැළඳීමෙන් ආරක්ෂා විය හැකියි.
- වර්ණ ගැන්වූ කෙස් කළඹක මුල් නැවත වැඩෙන විට, මුල් වර්ණ ගැන්වීම (Root Touch-up) සිදු කළ යුතු අතර, සම්පූර්ණ කෙස් කළඹම නැවත වර්ණ ගැන්වීම අවම වශයෙන් මාස තුනකට වරක්වත් පමණක් සිදු කිරීමට ඔබට හැකියි.
නිවැරදි සැලකිල්ල, ගුණාත්මක නිෂ්පාදන සහ නිසි ක්‍රමවේද අනුගමනය කිරීමෙන් ඔබට ඔබේ කෙස් කළඹේ සෞඛ්‍යය ආරක්ෂා කර ගනිමින්, ඔබ ප්‍රිය කරන දීප්තිමත් වර්ණය දිගුකාලීනව පවත්වාගෙන යා හැකිය.
Leave feedback about this