ප්‍රතිකාර සදහා එන උණ රෝගියෙකුගෙන් අසන මෙය සාමාන්‍ය ප්‍රශ්නයක් නොවේ. එය ජීවිතයක් බේරාගත හැකි ප්රශ්නයකි.
ශ්‍රී ලංකාව 2016 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මැලේරියා තුරන් කළ රටක් ලෙස සහතික කළද, අප තවමත් නැවත ඇතිවීම වැලැක්වීමේ හෙවත් Prevention of Re-establishment (PoR) අදියරේ ඉන්නේ. එයින් අදහස් වන්නේ රෝගය නැවත රට තුළ ස්ථාපිත වීමේ අවදානමක් ඇති අතර එසේ නොවීමට අප සැමගේ අවධානය අවශ්‍ය බවයි.
අදත් ඉන්දියාව, අප්‍රිකානු රටවල්, පාකිස්තානය, මියන්මාරය, ඉන්දුනීසියාව, ඇතුලු තවත් මැලේරියා ව්‍යාප්ත රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සහ විදේශිකයින් අපගේ සායන රෝහල් හා පෞදගලික ප්‍රතිකාර ඒකක වෙත පැමිණෙන්න ඇති. ඔවුන්ගේ රෝග ලක්ෂණ බොහෝ විට සාමාන්‍යයි.
රෝග ලක්ෂණ
- උණ එක්ක වෙව්ලීම
- හිසරදය
- ඇඟපත වේදනාව
- වමනය
- දුර්වලතාවය
මේවා ඩෙංගු, වෛරස් උණ, ලෙප්ටොස්පයිරෝසිස්, ටයිෆොයිඩ් හෝ වෙනත් උණ රෝග ලෙස පෙනෙන්නටත් පුළුවන්. ඇත්තටම ඩෙංගු රෝගියෙක්ට මැලේරියාව වැලදී තියෙන්නත් පුලුවන්.
වැදගත්ම දේ ට්‍රැවල් හිස්ට්‍රි , එහෙම නැත්නම් සංචාර ඉතිහාසය. සංචාර ඉතිහාසය අමතක වුණොත් මැලේරියාවත් අමතක වෙනවා.
විශේෂයෙන් Plasmodium falciparum වර්ගයේ මැලේරියාව ප්‍රතිකාර ප්‍රමාද වුවහොත් පැය කිහිපයක් ඇතුළතම දරුණු මොළයේ මැලේරියාව, වකුගඩු අකර්මණ්‍යතාව, බහු අවයව අකර්මණ්‍යතාව සහ මරණය දක්වා ගමන් කළ හැකිය. ඒ වගේම මෑතකදී සිට සැම වසරකම පාහේ මැලේරියාව නිසා ජීවිතයක් බැගින් අහිමි වෙමින් පවතිනවා.
මේ සෑම වෛද්‍යවරයෙකුටම මිස් නොවෙන සරල ඇලගොරිතම් එකක්. පටන් ගන්නෙ මේ ප්‍රශ්නයෙන්….
🔹① උණ ඇති රෝගියෙක්ද?
පිලිතුර ඔව් නම් මැලේරියාව ගැනත් සිතන්න.
🔹② අනිවාර්යයෙන්ම සංචාර ඉතිහාසය විමසන්න.
“පසුගිය මාස 12 තුළ ඔබ විදේශගත වී තිබෙනවාද?”
මෙම ප්රශ්නය අසන්නට තත්පර 10ක් පමණයි යන්නේ.
නමුත් එම තත්පර 10 රෝගියෙකුගේ ජීවිතය බේරාගත හැකිය.
🔹③ මැලේරියා පවතින රටකට ගොස් තිබේද?
පිලිතුර ඔව් නම්…
මැලේරියා පරීක්ෂණය වහාම කරන්න. එය රෝහලේ ඇති මැලේරියා පරීක්ශනාගාරයෙන් කල හැකියි.
ඔබේ ප්‍රතිකාර ඒකකයේ එම පහසුකම ඇත්නම් ලගම සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්යාලයේ සහය පතන්න. හැකි ඉක්මනින් රෝගියාගේ රුදිර පටල ලබා ගැනීම හා පරීකශා කිරීම කෙරෙනු ඇත.
මැලේරියාව “හෙට” බලන රෝගයක් නොවේ.
🔹④ ප්‍රතිඵලය පොසිටිව් නම්…
වහාම සුදුසු ප්‍රතිකාර ආරම්භ කරන්න ලගම ඇති රෝහලට රෝගියා ඇතුලත් කරවන්න.
ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයට (AMC) වහාම දැනුම් දෙන්න.
ප්‍රමාද වූ සෑම පැයකටම රෝගියාගේ අවදානම වැඩිවේ.
🔹⑤ පළමු රුදිර පටල පරීක්ෂණය Negative නම්…
එයින් මැලේරියාව ද යන සැකය සම්පූර්ණයෙන් ඉවත් නොවේ. උණ දිගටම පවතී නම් හෝ සායනික සැකය ඉහළ නම්,
පැය 24කට පසු නැවත Blood Smear කරන්න.
මුල් අවස්ථාවේ රුධිරයේ පරපෝෂිත ප්‍රමාණය අඩු බැවින් පළමු පරීක්ෂණය Negative විය හැකිය.
වෛද්‍යවරු ලෙස උණ රෝගියෙක් දැක්ක ගමන් අපි ඩෙංගු, ලෙප්ටොස්පයිරෝසිස්, වෛරස් උණ ගැන හිතනවා වගේම මැලේරියාව ගැනත් සිතමු. ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කර ඇති නිසා අපට එය අමතක විය හැකිය. නමුත් රෝගය අමතක කළ විට රෝගියා එය අපට මතක් කරන්නේ ඉතා ප්‍රමාද වූ අවස්ථාවක වෙන්න පුලුවන්.
රෝගීන්ට කෙටි පණිවිඩයක්
ඔබට උණ තිබෙනවා නම්, පසුගිය මාස 12 තුළ විදේශගත වී තිබේ නම්, ඔබේ වෛද්‍යවරයා එය නොඇසුවත්, කරුණාකර ඔබම එය සඳහන් කරන්න. එය ඔබේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා ලබාදෙන ඉතා වැදගත් තොරතුරකි. ඔබ කියන එක වාක්‍යයක් නිසා නිවැරදි පරීක්ෂණය සිදු විය හැකි අතර, නිසි ප්‍රතිකාරය ඉක්මනින් ආරම්භ කළ හැකිය.
මැලේරියා – නිදහස් ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම අප සැමගේ වගකීමයි.
“One Question. One Test. One Life Saved.”

කිලෝෂිනී හෙන්දවිතාරණ
ප්‍රාදේශීය මැලේරියා වෛද්‍ය නිලධාරී
ප්‍රාදේශීය මැලේරියා ඒකකය
අනුරාධපුර


Leave feedback about this