අගෝස්තු 25, 2026
මානසික සුව දිවිය සුව දිවිය

ඔබත් දරුවාට නිසි ගෞරවය ලබා දෙන මව්පියන්ද?

දරුවෙක් මේ ලෝකයට පැමිණෙන්නේ තමන් විසින් ගත් තීරණයකින් නොවේ. ඔහු හෝ ඇය මේ ලෝකයට කැඳවන්නේ වැඩිහිටියන්ගේ තීරණයක ප්‍රතිඵලයක් ලෙසයි. ඒ නිසා දරුවෙකු ලැබීමත් සමඟ දෙමාපියන්ට ලැබෙන්නේ දරුවෙකු පෝෂණය කිරීමේ වගකීම පමණක් නොවෙයි. ඔහුගේ හෝ ඇයගේ මනුෂ්‍ය ගෞරවය ආරක්ෂා කරමින්, ආදරයෙන් සහ ආරක්ෂිතව වැඩෙන්නට අවශ්‍ය පරිසරය සකස් කිරීමේ වගකීමත් දෙමාපියන්ට පැවරෙනවා. කෙසේ වුවත් දරුවා උපන් පසු ජීවිතය බලාපොරොත්තු වූ තරම් පහසු නොවන බව දෙමාපියන් වන කොයි කවුරුත් දන්නා දෙයක් බව කිව යුතුමයි.

දරුවා මෙලොවට පැමිනිමත් සමගම

  • නිදි නැති රාත්‍රී
  • රැකියාවේ පීඩනය
  • ආර්ථික අපහසුතා
  • ගෙදර වැඩ
  • දරුවාගේ අසනීප
  • තනිවම දරුවා බලාගැනීමට සිදුවීම
  • සහකරුගෙන් හෝ පවුලෙන් ප්‍රමාණවත් සහයෝගයක් නොලැබීම වැනි මේ හැමදේම මවකට දැඩි මානසික පීඩනයක් ඇති කළ හැකියි.ඒ පීඩනය සැබෑවක්. එය නොසලකා හැරිය නොහැකියි.

එය එසේ වුවද නමුත් දෙමාපියෙකුගේ අපහසුතාවය දරුවෙකුට අගෞරව කිරීමට හේතුවක් විය යුතු නැහැ.

දරුවා කරදරයක් නොවේ.

  • කුඩා දරුවෙක් නිතර අඬනවා
  • නිතරම එකම දේ අහනවා
  • කෑම ප්‍රතික්ෂේප කරනවා
  • නිදාගන්න කැමති නැහැ
  • සෙල්ලම් කරන්න ඕනේ කියනවා
  • අම්මා ළඟින්ම ඉන්න ඕනේ කියනවා
  • පාසල් යන්න අකමැති වෙනවා
  • තමන්ට අවශ්‍ය දේ නොලැබුණාම හැඟීම් පාලනය කරගන්න බැරි වෙනවා.

මේ හැසිරීම් වැඩිහිටියෙකුට කරදරයක් වගේ පෙනෙන්න පුළුවන්. නමුත් දරුවාගේ පැත්තෙන් බලද්දී ඒවා බොහෝවිට ඔහුගේ හෝ ඇයගේ අවශ්‍යතාවයක්, හැඟීමක් හෝ තවමත් සම්පූර්ණයෙන් වර්ධනය නොවූ හැකියාවක ප්‍රකාශයක්.

දරුවාට තරහක් ආවා කියලා ඔහු නරක දරුවෙක් නොවෙයි. දරුවාට බයක් ඇතිවුණා කියලා ඔහු දුර්වල නොවෙයි. දරුවාට යමක් තේරුම්ගන්න බැරි වුණා කියලා ඔහු මෝඩයෙක් නොවෙයි. දරුවා ඔබට එකම ප්‍රශ්නය දහවතාවක් ඇහුවා කියලා ඔහු ඔබව හිතාමතාම කරදරයට පත් කරනවා කියලා අදහස් වෙන්නේ නැහැ. දරුවා තවමත් ඉගෙන ගනිමින් සිටින කෙනෙක්.

“මමත් මනුස්සයෙක්” කියන එක ඇත්ත. ඒත් දරුවාත් මනුස්සයෙක්. දෙමාපියෙකුට මහන්සි වෙන්න පුළුවන්. තරහ යන්න පුළුවන්. තමන්ට විවේකයක් අවශ්‍ය වෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතය වෙනස් වූ බව දැනෙන්න පුළුවන්. “දරුවා ලැබුණට පස්සේ මට මගේ පරණ ජීවිතය නැතිවුණා වගේ” කියලා සිතෙන්නත් පුළුවන්. මේ හැඟීම් ඇතිවීම නිසා ඔබ නරක මවක් හෝ නරක පියෙක් වෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ ඒ හැඟීම් සමඟ ඔබ කරන දේයි.

  • මහන්සියි නම් උදව් ඉල්ලන්න
  • විවේකයක් අවශ්‍ය නම් විශ්වාස කළ හැකි කෙනෙකුගෙන් සහය ලබාගන්න
  • තරහ වැඩි නම් මොහොතකට ඉවත් වී සන්සුන් වෙන්න
  • ඔබට දරාගන්න බැරි තරම් පීඩනයක් තිබේ නම් වෘත්තීය සහය ලබාගන්න.

නමුත් ඔබේ පීඩනය අඩු කරගැනීම සඳහා දරුවාගේ හදවතට වේදනාවක් දීම විසඳුම නොවන බව සිහිතබා ගන්න.

දරුවෙකුට ගෞරව කිරිම කියන්නේ මොකක්ද?

දරුවෙකුට ගෞරව කිරීම කියන්නේ ඔහුට අවශ්‍ය හැම දෙයක්ම ලබාදීම නොවේ. දරුවාට සීමා අවශ්‍යයි.

නීති අවශ්‍යයි. නිවැරදි මඟපෙන්වීම අවශ්‍යයි. “නැහැ” කියන්නත් දෙමාපියන්ට සිදුවෙනවා. නමුත් ඒ සියල්ල අපහාසයකින්, බියකින් හෝ අවමානයකින් තොරව කළ හැකියි.

“මේක කරන්න එපා” කියන එකත්, “ඔයාට කිසි දෙයක් තේරෙන්නේ නැද්ද?” කියන එකත් එකම දෙයක් නොවේ.

“ඔයා කරපු දේ වැරදියි” කියන එකත්, “ඔයා නම් මහ කරදරයක්” කියන එකත් එකම දෙයක් නොවේ.

හැසිරීම නිවැරදි කිරීම සහ දරුවාගේ වටිනාකම පහත දැමීම අතර විශාල වෙනසක් තිබෙනවා.

දරුවා ඉදිරියේ භාවිත කරන වචන ගැන සැලකිලිමත් වෙන්න

දෙමාපියන් සමහරවිට තරහට කියන වචන, තමන්ට මතකවත් නැති වෙන්න පුළුවන්. නමුත් දරුවාට ඒ වචන දිගු කාලයක් මතක තිබිය හැකියි.

“ඔයා නිසා මට නිදහසක් නැහැ.”

“ඔයා නොහිටියා නම් මම කොච්චර සතුටින් ඉන්නවද.”

“ඔයා මහ කරදරයක්.”

“ඔයාට කිසි දෙයක් හරියට කරන්න බැහැ.”

“ඔයා වගේ දරුවෙක් මට ඕනෙ නෑ.”

“ඔයා නිසා තමයි මගේ ජීවිතේ මේ තරම් අමාරු” වැනි වචන දරුවෙකුගේ හැඟීම්වලට බරපතළ බලපෑමක් ඇති කළ හැකියි. විශේෂයෙන් කුඩා දරුවෙකුට දෙමාපියන්ගේ වචන කියන්නේ තමන් ගැන ලෝකය දෙන පණිවිඩයක් වගේ.

  • “මම කරදරයක්ද?”
  • “මම ආදරය ලැබීමට සුදුසු නැද්ද?”
  • “මම වැරදි කෙනෙක්ද?” වැනි ප්‍රශ්න ඔවුන්ගේ සිත තුළ ඇතිවිය හැකියි.

දරුවාට වයසට ගැළපෙන ගෞරවයක් අවශ්‍යයි

දරුවෙකු කුඩා නිසා ඔහුට හැඟීම් නැති බව අදහස් නොවේ. අවුරුදු දෙකක දරුවෙකුටත් දුක දැනෙනවා. අවුරුදු පහක දරුවෙකුටත් ලැජ්ජාව දැනෙනවා. පාසල් යන දරුවෙකුටත් ප්‍රතික්ෂේප වීම රිදෙනවා. යොවුන් වියේ දරුවෙකුටත් තමන්ගේ පෞද්ගලිකත්වය සහ ගෞරවය වැදගත්. එම නිසා දරුවාගේ වයස කුමක් වුවත්, ඔහු මනුෂ්‍යයෙකු ලෙස ගෞරවය ලැබිය යුතුමයි.

වැඩිහිටියන් ලෙස අපි දරුවෙකුගේ අදහස සෑම විටම පිළිගත යුතු නැහැ. නමුත් ඔහුගේ අදහස අසා සිටිය හැකියි. දරුවාගේ තීරණය සෑම විටම නිවැරදි නොවෙන්න පුළුවන්. නමුත් ඔහුට තීරණ ගැනීමට ඉගෙන ගැනීමට අවස්ථාව ලබාදිය හැකියි. දරුවා වැරදි කළාම ඔහුව පහත් නොකර, වැරැද්දෙන් ඉගෙන ගැනීමට උපකාර කළ හැකියි.

මම දරුවාට ආදරෙයි” කියන එක පමණක් ප්‍රමාණවත්ද ?

හැම දෙමාපියෙක්ස තමන්ගේ දරුවන්ට ආදරෙයි. ඒ ගැන සැකයක් නැහැ. ඔවුන් දරුවන් වෙනුවෙන් මහන්සි වෙනවා. මුදල් උපයනවා. ආහාර සපයනවා. අධ්‍යාපනය ලබාදෙනවා. අසනීප වූ විට රැකබලා ගන්නවා. ඒ සියල්ල ආදරයේ ප්‍රකාශන. නමුත් දරුවෙකුට ආදරය දැනිය යුතුයි. ඔබ දරුවා වෙනුවෙන් කරන දේවල් වගේම,

  • ඔබ ඔහු සමඟ කතා කරන ආකාරය
  • ඔහුගේ අදහස් අසන ආකාරය
  • ඔහු වැරදුණු විට ප්‍රතිචාර දක්වන ආකාරය
  • ඔහු බිය වූ විට ඔහුට සලකන ආකාරය
  • ඔහු අසරණ වූ විට ඔහු අසල සිටින ආකාරයත් වැදගත්. ආදරය කියන්නේ වියදම් කරන මුදල පමණක් නොවේ. සමහරවිට දරුවෙකුට අවශ්‍ය වෙන්නේ විනාඩි කිහිපයක් ඔබ ඔහු දෙස බලාගෙන ඔහු කියන කතාව අහගෙන සිටීම පමණයි.

දරුවා නිසා ඔබට ඇති වූ අපහසුතාවය දරුවාගේ වරදක් නොවේ. දරුවෙකු ලැබීමෙන් පසු ඔබේ ජීවිතයේ බොහෝ දේ වෙනස් වෙන්න පුළුවන්. ඔබට රැකියාවේ ගැටලු ඇතිවෙන්න පුළුවන්. මුදල් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. සම්බන්ධතාවයේ ගැටලු ඇතිවෙන්න පුළුවන්. ඔබේ නිදහස අඩු වූවා වගේ දැනෙන්න පුළුවන්. නමුත් ඒ කිසිවක් දරුවාගේ වරදක් නොවේ. ඔහු මේ ලෝකයට පැමිණියේ වැඩිහිටියන්ගේ තීරණයක් නිසායි. එබැවින් දරුවා ඔබේ ජීවිතයේ ඇති සෑම අපහසුතාවයකම “හේතුව” ලෙස දකින්නට පෙර, මොහොතකට නවතින්න.

  • ඔබට ඇත්තටම තරහ දරුවා සමඟද? නැත්නම් ඔබේ මහන්සිය සමඟද?
  • ඔබට තරහ දරුවාගේ හැසිරීම සමඟද? නැත්නම් ඔබට අවශ්‍ය සහයෝගය නොලැබීම සමඟද?

මෙය හඳුනාගැනීම ඉතා වැදගත්.

දරුවාගෙන් සමාව ඉල්ලන්න බිය වෙන්න එපා. දෙමාපියන්ටත් වැරදි වෙනවා. කෝපයෙන් වැඩි දෙයක් කියවෙන්න පුළුවන්. අසාධාරණ ලෙස දොස් පවරන්න පුළුවන්. පසුව තමන් කළ දේ ගැන කනගාටු වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක “මම අම්මා/තාත්තා. මට සමාව ඉල්ලන්න අවශ්‍ය නැහැ” කියා සිතන්න එපා.

“අම්මාට අද හොඳටම මහන්සි වෙලා හිටියේ. ඒ නිසා අම්මා ඔයාට සැරෙන් කතා කළා. ඒක හරි නැහැ. මට සමාවෙන්න.” කියා පැවසීම දුර්වලකමක් නොවේ. එය දරුවාට ඉතා වටිනා පාඩමක් උගන්වනවා.වැරදුණු විට වගකීම භාරගැනීමත් ගෞරවයේ කොටසක් බව මතක තබා ගන්න.

ඔබේ දරුවා අද ඔබ දෙස බලන්නේ කෙසේද?

මෙය සෑම දෙමාපියෙකුම තමන්ගෙන්ම අසාගත යුතු ප්‍රශ්නයක්.

  • මගේ දරුවාට මම ආරක්ෂිත පුද්ගලයෙක්ද?
  • ඔහුගේ ගැටලුවක් මට කියන්න ඔහු බය නැද්ද?
  • ඔහු වැරදුණාම මගෙන් අපහාසයක් ලැබෙයි කියලා බය වෙනවාද?
  • ඔහුගේ හැඟීම් මට වැදගත් බව ඔහු දන්නවාද?
  • මගේ ආදරය ඔහුට දැනෙනවාද?
  • මම ඔහුගේ හැසිරීම නිවැරදි කරනවාද, නැත්නම් ඔහුගේ වටිනාකමම පහත දමනවාද?

මෙවැනි ප්‍රශ්නවලට අවංකව පිළිතුරු දීම වඩාත් වැදගත් වෙනවා.

මතක තබා ගන්න…

දරුවෙක් සදාකාලිකව කුඩා දරුවෙකු නොවේ.

  • අද ඔබේ අත අල්ලාගෙන ඇවිදින දරුවා හෙට වැඩිහිටියෙකු වෙනවා
  • අද ඔබ සමඟ කතා කිරීමට උත්සාහ කරන දරුවා හෙට ඔබට දුරකථනයෙන් කතා නොකරන කෙනෙකු විය හැකියි

අද ඔබ ඔහුට කියන වචන, අද ඔබ ඔහුට දක්වන ආදරය, අද ඔබ ඔහුගේ හැඟීම්වලට දක්වන ගෞරවය ඔහුගේ මතකයන්වල කොටසක් බවට පත්වෙනවා. දරුවෙකු හදනවා කියන්නේ ඔහුට කෑම, ඇඳුම්, අධ්‍යාපනය සහ නිවසක් ලබාදීම පමණක් නොවේ. ඔහුට “ඔබ වැදගත් කෙනෙක්” යන හැඟීම ලබාදීමත් දරුවෙකු ඇතිදැඩි කිරීමේ කොටසක්.

දරුවාට

  • සීමා දාන්න
  • වැරදි පෙන්වා දෙන්න
  • වගකීම් උගන්වන්න.

ඒ සියල්ල අතරේ ඔහුගේ මනුෂ්‍ය ගෞරවය රැකගන්න.

ඔබට මහන්සි නම් උදව් ඉල්ලන්න. ඔබ කෝපයෙන් නම් මොහොතක් නවතින්න. ඔබට විවේකයක් අවශ්‍ය නම් ඒ සඳහා අවකාශයක් සොයාගන්න. මොකද, ඔබේ දරුවා ඔබේ ජීවිතයට කරදරයක් නොවේ. ඔහු ඔබේ රැකවරණයට භාර වූ කුඩා මනුෂ්‍යයෙක්. ඔහු ඔබෙන් පරිපූර්ණ දෙමාපියෙකු බලාපොරොත්තු නොවෙයි. ඔහුට අවශ්‍ය වන්නේ ආදරය කරන, සවන් දෙන, ආරක්ෂා කරන, වැරදුණු විට නැවත උත්සාහ කරන දෙමාපියන් පමනයි. ඒ නිසා අද රාත්‍රියේ මොහොතක් ඔබේ දරුවා දෙස බලන්න.

ඔහුගෙන් ඔබට අවශ්‍ය දේවල් ගැන සිතන්නට පෙර, “මගේ දරුවාට මගෙන් අවශ්‍ය ගෞරවය, ආදරය සහ ආරක්ෂාව ලැබෙනවාද?” කියා ඔබෙන්ම අසන්න. සමහරවිට ඒ ප්‍රශ්නයම ඔබේ මව්පිය ගමන වෙනස් කරන්න පුළුවන්.

Leave feedback about this

  • Quality
https://nusantarabola.id/