අගෝස්තු 25, 2026
දරුවන්ගේ සුව දිවිය සුව දිවිය

බිළිඳුන් සහ කුඩා දරුවන්ට කනේ ආසාදන ඇතිවන්නේ ඇයි?

බිළිඳෙකු නිතර කන අදිමින්, අඬමින් හෝ නින්දට යාමට අපහසු වෙමින් සිටින විට, “දත් එන නිසා වෙන්න ඇති” කියා සිතීම සාමාන්‍ය දෙයක්. නමුත් සමහර අවස්ථාවල එයට හේතුව කනේ ආසාදනයක් විය හැකියි. කනේ ආසාදන බිළිඳුන් සහ කුඩා දරුවන් අතර සාමාන්‍යයෙන් දක්නට ලැබෙන තත්ත්වයක්. විශේෂයෙන්ම සෙම්ප්‍රතිශ්‍යාවක් හෝ නාසයෙන් සෙම ගැලීමක් ඇති වූ පසු මැද කනේ ආසාදනයක් ඇති විය හැකියි.

දරුවෙකුට කන් ආසාදනයක් ඇති බව හඳුනාගන්නේ කොහොමද?

බිළිඳෙකුට තමන්ට කන රිදෙන බව පැවසීමට නොහැකි නිසා, දෙමාපියන් පහත ලක්ෂණ පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්.

  • නිතර කන අදින්නට හෝ අතගාන්නට උත්සාහ කිරීම
  • වෙනදාට වඩා නොසන්සුන් වීම හෝ කෝපයෙන් සිටීම
  • නින්දට යාමට අපහසු වීම
  • උණ ඇති වීම
  • ශබ්දවලට වෙනදා මෙන් ප්‍රතිචාර නොදැක්වීම
  • කිරි බීමට අපහසු වීම හෝ කිරි බොමින් සිටියදී නැවත නැවත ඉවතට හැරීම
  • ඇවිදින දරුවෙකු නම් සමබරතාවයේ වෙනසක් පෙන්වීම
  • කනෙන් දියරයක් පිටවීම.

කන ඇදීම පමණක්ම තිබීම කනේ ආසාදනයක් ඇති බව තීරණය කළ හැකි එකම හේතුවක් විය නොහැක. සෙම්ප්‍රතිශ්‍යාව, කනේ දියර එකතුවීම හෝ දත් එන කාලයේ ඇතිවන වේදනාව වැනි වෙනත් හේතු මතත් එසේ විය හැකිය.

කන් ආසාදනය ඇතිවන්නේ ඇයි?

බොහෝ මැද කනේ ආසාදන වෛරස් හෝ බැක්ටීරියා නිසා ඇති විය හැකියි. බිළිඳුන්ගේ කන සහ උගුර සම්බන්ධ කරන නාලය වැඩිහිටියන්ට වඩා කුඩා, පටු සහ තවමත් වර්ධනය වෙමින් පවතින නිසා, සෙම්ප්‍රතිශ්‍යාවකදී ඇතිවන සෙම සහ ඉදිමීම නිසා මැද කනේ දියර එකතු වී ආසාදනයක් ඇති වීමට ඉඩ වැඩියි.

සෑම කන් ආසාදනයකටම ප්‍රතිජිවක එහෙමත් නැත්නම් Antibiotics අවශ්‍යද?

නැහැ. සමහර කන් ආසාදන ස්වභාවිකවම දින කිහිපයක් තුළ සුව විය හැකියි. බැක්ටීරියා ආසාදනයක් ලෙස සැක කරන විට හෝ තත්ත්වය අනුව වෛද්‍යවරයා විසින් antibiotics ලබා දීමට තීරණය කළ හැකියි. ඒ නිසා වෛද්‍ය උපදෙස් නොමැතිව antibiotics ලබා නොදීමට වගබලා ගන්න.

වේදනාව සහ උණ පාලනය සඳහා දරුවාගේ වයස හා තත්ත්වය අනුව සුදුසු ඖෂධ භාවිත කළ හැකි නමුත්, නිවැරදි ඖෂධය සහ මාත්‍රාව පිළිබඳ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගැනීම වැදගත්.

වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු අවස්ථා

විශේෂයෙන්,

  • මාස 3ට අඩු බිළිඳෙකු අසනීප ලක්ෂණ පෙන්වන්නේ නම්
  • දරුවාට දැඩි වේදනාවක් ඇති බව පෙනේ නම්
  • ඉතා ඉහළ උණක් තිබේ නම්
  • කන වටා ඉදිමීමක් තිබේ නම්
  • කනෙන් දියරයක් පිටවන්නේ නම්
  • දින කිහිපයකින් තත්ත්වය යහපත් නොවන්නේ නම්
  • නැවත නැවත කනේ ආසාදන ඇතිවන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්.

කනේ ආසාදන වළක්වා ගැනිමට උපකාරී විය හැකි දේවල්

සියලුම කන් ආසාදන වැළැක්විය නොහැකි වුවත්,

  • දරුවා දුම් රහිත පරිසරයක තබා ගැනීම
  • හැකි නම් මව්කිරි ලබාදීම
  • කිරි ලබාදීමේදී දරුවා සම්පූර්ණයෙන්ම පැතලිව නොතබා සුදුසු ඉරියව්වකින් ලබාදීම
  • නිර්දේශිත එන්නත් ලබාදීම

වැනි දේවල් ආසාදන අවදානම අඩු කිරීමට උපකාරී විය හැකියි.

දරුවෙකු නිතර කන අදින්නේ නම් එය “දත් එන නිසා” කියාම නොසිතන්න. කන් ආසාදනයක් සැක නම්, විශේෂයෙන් කුඩා බිළිඳෙකු නම්, වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කරවා ගැනීම වඩාත් ආරක්ෂිතයි.

මෙම ලිපිය දැනුවත් කිරීම සඳහා පමණි. දරුවෙකුගේ රෝග ලක්ෂණ අනුව නිශ්චිත රෝග විනිශ්චයක් හෝ ප්‍රතිකාරයක් සඳහා වෛද්‍ය උපදෙස් ලබාගන්න.

Leave feedback about this

  • Quality
https://nusantarabola.id/