අගෝස්තු 25, 2026
Baby Bump

ගැබිනි සමයේ 12 වන සතිය – පළමු ත්‍රෛමාසිකයේ අවසානයට ළංවෙන ඔබේ පුංචි පැටියා

ඔබේ කුස තුළ සිටින පුංචි ජීවිතය තවමත් ඉතා කුඩා වුවත්, මේ වන විට එහි ශරීර ව්‍යුහය පුදුමාකාර ලෙස වෙනස් වෙමින් පවතී…

ගැබිනි සමයේ 12 වන සතියට ඔබ පැමිණියා නම්, මේ ඔබේ ගැබිනි ගමනේ වැදගත් සන්ධිස්ථානයක්. ඔබ දැන් පළමු ත්‍රෛමාසිකය අවසන් කිරිමට ආසන්නයි. පසුගිය සති කිහිපය තුළ ඔබට ඔක්කාරය, වමනය, වෙහෙස, ආහාරවලට අකමැත්ත සහ හෝමෝන වෙනස්කම් නිසා විවිධ අපහසුතා ඇතිවෙන්න ඇති. දැන් සමහර මව්වරුන්ට ඒ අපහසුතා ටිකෙන් ටික අඩුවෙන්න පටන් ගන්න පුළුවන්. ඒත් ඔබට තවමත් ඒවා දැනෙනවා නම් කලබල වෙන්න එපා. ගැබිනි සමයේ අත්දැකීම මවගෙන් මවට වෙනස් බව කලිනුත් කව්වා මතක ඇති.

12 වන සතියේ ඔබේ බිළිඳා කොතරම් විශාලද?

12 වන සතිය වන විට බිළිඳාගේ දිග සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 5 6ක් පමණ විය හැක. බිළිඳාගේ ප්‍රමාණය තේරුම් ගැනීමට සමහරවිට කුඩා දෙහි ගෙඩියක් වැනි පලතුරක් සමඟ සසඳා දැක්විය හැක. නමුත් මෙය හුදෙක් තේරුම් ගැනීමට කරන සරල උදාහරණයක් පමණයි. බිළිඳාගේ සැබෑ ප්‍රමාණය එක් එක් ගර්භණී අවස්ථාව අනුව වෙනස් විය හැක.

  • මොළය සහ ස්නායු පද්ධතිය – 12 වන සතියේදීත් බිළිඳාගේ මොළය තවදුරටත් වේගයෙන් සංවර්ධනය වෙමින් පවතී. මොළයේ විවිධ කොටස් වර්ධනය වෙමින්, ස්නායු පද්ධතියේ සම්බන්ධතා ක්‍රමයෙන් වඩාත් සංකීර්ණ වෙමින් පවතී.

මේ කාලය වන විට බිළිඳාගේ ශරීරයේ මූලික ව්‍යුහයන් බොහෝමයක් නිර්මාණය වී ඇති අතර, ඉදිරි සතිවලදී ඒවා තවදුරටත් වර්ධනය වී පරිණත වේ.

ඒ නිසාම පළමු trimester එක බිළිඳාගේ වර්ධනයේ ඉතා වැදගත් අවධියක්.

  • හෘදය – ඔබේ බිළිඳාගේ හෘදය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින අතර, ශරීරය පුරා රුධිර සංසරණය සිදුවෙමින් පවතී. Ultrasound පරීක්ෂණයකදී වෛද්‍යවරයාට බිළිඳාගේ හෘද ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කළ හැක. නමුත් බිළිඳාගේ හෘද ස්පන්දන වේගය පිළිබඳ නිශ්චිත අගයක් ඔබම තීරණය කිරීමට උත්සාහ නොකරන්න. Ultrasound එකේදී වෛද්‍යවරයා එය බිළිඳාගේ වයස සහ වර්ධනය අනුව තක්සේරු කරයි.
  • අත් සහ පා – 12 වන සතියේදී බිළිඳාගේ අත් සහ පාද තවදුරටත් වර්ධනය වෙමින් පවතී. මේ වන විට ඇඟිලි වඩාත් පැහැදිලි වී ඇත. පාදවල ව්‍යුහය වර්ධනය වෙමින් පවතී. අස්ථි ව්‍යුහය තවදුරටත් ශක්තිමත් වෙමින් පවතී. බිළිඳාගේ කුඩා චලනයන් සිදුවෙමින් පවතී. Ultrasound එකකදී බිළිඳා අත් පා චලනය කරන ආකාරය දැකගැනීමට හැකි විය හැක. එය අම්මා කෙනෙකුට තමන්ගේ බබා සමඟ පළමු වතාවට තවත් සමීපව සම්බන්ධ වන වගේ හැඟීමක් ලබාදෙන සුන්දර මොහොතක් විය හැක.
  • මුහුණ – බිළිඳාගේ මුහුණ දැන් පසුගිය සතිවලට වඩා වඩාත් පැහැදිලි හැඩයක් ගනිමින් පවතී. ඇස් වර්ධනය වෙමින් පවතී. කන්වල පිහිටීම තවදුරටත් පැහැදිලි වේ. නාසයේ ව්‍යුහය වර්ධනය වෙමින් පවතී. මුඛය සහ තොල් තවදුරටත් සංවර්ධනය වෙමින් පවතී. නමුත් තවමත් බිළිඳාගේ මුහුණ සම්පූර්ණයෙන් වර්ධනය වී අවසන් වී නැත.
  • අභ්‍යන්තර අවයව – පළමු ත්‍රෛමාසිකයේ බිළිඳාගේ මූලික අවයව නිර්මාණය වීමේ වැදගත් අදියරක් සිදුවේ. මේ වන විට අක්මාව, වකුගඩු, ආහාර ජීර්ණ පද්ධතිය, මුත්‍රා පද්ධතිය වැනි පද්ධති තවදුරටත් වර්ධනය වෙමින් ක්‍රියාකාරීත්වයට සූදානම් වෙමින් පවතී. ඉදිරි සතිවලදී මෙම පද්ධති තවදුරටත් පරිණත වීමට නියමිතය.

12 වන සතියේදී අම්මාගේ ශරීරයේ වෙනස්කම්

මේ වන විට ඔබේ ශරීරය ගැබ් ගැනීමට හුරු වෙමින් පවතිනවා. මුල් සති කිහිපය තුළ ඔබේ ශරීරයේ සිදුවන හෝමෝන වෙනස්කම් නිසා ඔබට වෙහෙස, ඔක්කාරය සහ විවිධ අපහසුතා දැනුනු අතරම සමහර මව්වරුන්ට 12 වන සතිය වන විට මුල් සතිවල තිබුණු අපහසුතා ටිකෙන් ටික අඩුවෙන්න පටන් ගන්න පුළුවන්. විශේෂයෙන් ඔක්කාරය, අධික වෙහෙස, ආහාරවලට ඇති අකමැත්ත වැනි ලක්ෂණ සමහරුන්ට අඩුවිය හැක. නමුත් 12 වන සතියට පැමිණි පසුත් මේ සියල්ලටම මුහුන දෙන මව්වරුන් සිටිය හැක.

12 වන සතියට පැමිණෙන විට සමහර මව්වරුන්ට අනේ, දැන් මට ටිකක් හොඳයි වගේ… කියලා දැනෙන්න පුළුවන්. ඒකත් ගැබිනි සමයේ සාමාන්‍ය වෙනසක් විය හැක. නමුත් ඔබට ලක්ෂණ හදිසියේ වෙනස් වීම ගැන විශේෂ කනස්සල්ලක් තිබේ නම්, ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කිරීම හොඳම පියවරයි.

දැන් කුස පිටතට පෙනෙන්න පටන් ගනීද?

සමහර මව්වරුන්ට 12 වන සතිය වන විට කුස පෙනෙන්න පටන් ගත හැක. තවත් මව්වරුන්ට තවමත් බඩේ විශාල වෙනසක් නොපෙනෙන්න පුළුවන්. එය සම්පූර්ණයෙන්ම මවගෙන් මවට වෙනස් වේ. ඔබේ බඩේ ප්‍රමාණය අනෙක් මවකගේ බඩ සමඟ සංසන්දනය කිරීමෙන් ඔබේ බිළිඳාගේ වර්ධනය ගැන නිගමනයකට එන්න බැහැ. කුස තුල වැඩෙන බිලිදාගේ වැඩිම නිවැරදිව වෙන බව අම්මාට දැනගත හැක්කේ වෛද්‍යවරයාගේ පරීක්ෂණ අනුවයි.

ඔබට මේ වන විට මගේ බබා ඇත්තටම කොච්චර ලොකුද? එයා හොඳින් වැඩෙනවාද? මට තවමත් බබාගේ චලනය දැනෙන්නේ නැත්තේ ඇයි? වැනි ප්‍රශ්න ගොඩක් ඇතිවෙන්න පුළුවන්. ඒ හැම ප්‍රශ්නයක්ම අසා දැනගන්න ඔබට අයිතිය තිබෙනවා. අම්මා කෙනෙක් වීමේ ගමනේදී ප්‍රශ්න අසන එක දුර්වලකමක් නොවේ. ඒක ඔබේ බිළිඳා ගැන සැලකිලිමත් වීමේ කොටසක්. ඒ නිසාම අම්මාට ඇති වන ගැටලු වෛද්‍යවරයාගෙන් අසා දැනගන්න.

12 වන සතියේදී අම්මාගේ ආහාර වේල

ගැබිනි සමයේදී “දෙදෙනෙකු වෙනුවෙන් කන්න” කියන පැරණි අදහස වෙනුවට, පෝෂ්‍යදායී සහ විවිධ ආහාර තෝරාගැනීම වඩා වැදගත්. ඔබේ දිනපතා ආහාරයට විවිධ ආහාර කාණ්ඩ ඇතුළත් කරන්න.

  • ශක්තිය සඳහා – බත්, ධාන්‍ය වර්ග, පාන්, ඕට්ස්, කුරක්කන්, බතල සහ අල වැනි ආහාර
  • ප්‍රෝටීන් – හොඳින් පිසූ බිත්තර, මාළු, හොඳින් පිසූ මස්, පරිප්පු, කඩල, මුං ඇට, බෝංචි, ඇට වර්ග
  • එළවළු සහ පලතුරු – විවිධ වර්ණවල එළවළු සහ පලතුරු ආහාරයට එකතු කරගන්න. ඒවා මඟින් විවිධ විටමින්, ඛනිජ සහ තන්තු ලබාගත හැක. විශේෂයෙන් මලබද්ධය තිබේ නම්, තන්තු සහ ප්‍රමාණවත් ජලය ලබාගැනීම උපකාරී විය හැක. පලතුරු සහ එළවළු ආහාරයට ගැනීමට පෙර හොඳින් සෝදන්න.
  • ෆෝලික් අම්ලය – ගර්භණී සමයේ මුල් අවධියේදී ෆෝලික් අම්ලය ඉතා වැදගත් පෝෂකයකි. ඔබේ වෛද්‍යවරයා ලබාදී ඇති මාත්‍රාව නිර්දේශ කළ ආකාරයටම ලබාගන්න. තමන්ගේ කැමැත්තට මාත්‍රාව වෙනස් කිරීම හෝ නතර කිරීම නොකරන්න.
  • යකඩ – යකඩ අඩුවීමෙන් රක්තහීනතාව ඇති විය හැකි අතර, එය අධික වෙහෙස සහ දුර්වල බව වැනි ලක්ෂණ ඇති කිරීමට හැකිය. හොඳින් පිසූ මස්, මාළු, බිත්තර, පරිප්පු සහ බෝංචි, කොළ පැහැති එළවළු මෙන්ම අමතර විටමින් අවශ්‍යද යන්න ඔබේ වෛද්‍යවරයා තීරණය කරනු ඇත.
  • කැල්සියම් සහ විටමින් D බිළිඳාගේ අස්ථි වර්ධනයට කැල්සියම් වැදගත් වන අතර, මවගේ අස්ථි සෞඛ්‍යයටත් එය අවශ්‍ය වේ. කිරි, යෝගට්, චීස් සහ වෙනත් කැල්සියම් අඩංගු ආහාර ආහාර වේලට එකතු කරගත හැක. විටමින් D ශරීරයට කැල්සියම් නිසි ලෙස භාවිත කිරීමට උපකාරී වේ.
  • ජලය – ගර්භණී සමයේදී ප්‍රමාණවත් දියර ලබාගැනීම වැදගත්. විශේෂයෙන් ඔක්කාරය හෝ වමනය තිබේ නම්, දියර අහිමි වීම නිසා විජලනය ඇතිවිය හැක. එකවර විශාල ප්‍රමාණයක් පානය කිරීම අපහසු නම්, දවස පුරා කුඩා ප්‍රමාණවලින් පානය කරන්න.

12 වන සතියේදී ව්‍යායාම කළ හැකිද?

ගර්භණීභාවය සාමාන්‍ය ලෙස සිදුවන සහ වෛද්‍යවරයා විසින් ක්‍රියාකාරකම් සීමා කර නොමැති මව්වරුන්ට සුදුසු මට්ටමේ ශාරීරික ක්‍රියාකාරකම් උදාහරණ ලෙස සැහැල්ලුවෙන් ඇවිදීම, ගර්භණී සමයට සුදුසු ව්‍යායාම වැනි දේ ප්‍රයෝජනවත් විය හැක. නමුත් අධික වෙහෙසක් ඇතිවන ක්‍රියාකාරකම් හෝ වැටීම්/තුවාල ඇතිවීමේ අවදානම වැඩි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්.

ඔබට විශේෂ සෞඛ්‍ය තත්ත්වයක් හෝ ගැබිනි සමයේ සංකුලතා තිබේ නම්, ව්‍යායාම ආරම්භ කිරීමට පෙර වෛද්‍යවරයා සමඟ කතා කරන්න.

12 වන සතියේදී වැළකිය යුතු දේ

  • දුම්පානය – ගර්භණී සමයේදී දුම්පානයෙන් වැළකීම ඉතා වැදගත්ය. වක්‍රාකාරයේ වුවද දුම්වලට නිරාවරණය වීමද හැකි තරම් අවම කළ යුතුය.
  • මත්පැන් – ගර්භණී සමයේදී මත්පැන් සඳහා ආරක්ෂිත මට්ටමක් තහවුරු කර නොමැති බැවින්, එයින් වැළකීම නිර්දේශ කෙරේ.
  • කැෆේන් – තේ, කෝපි, කෝලා සහ ශක්තිජනක පානවල කැෆේන් අඩංගු විය හැක. ගර්භණී සමයේදී කැෆේන් ප්‍රමාණය සීමා කිරීම වැදගත්ය.
  • නොපිසූ හෝ අඩුවෙන් පිසූ ආහාර – අමු හෝ අඩුවෙන් පිසූ මස්, බිත්තර සහ ආහාර සම්බන්ධ ආසාදන අවදානම වැඩි කළ හැකි නිසා ආහාර හොඳින් පිසීම සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ සැලකිලිමත් වන්න.

වෛද්‍ය උපදෙස් වෙත යොමු විය යුතු තත්ත්ව

ගර්භණී සමයේදී සියලුම අපහසුතා අනතුරුදායක නොවේ. නමුත් පහත ලක්ෂණ තිබේ නම් නොසලකා හරින් එපා.

  • අධික හෝ අසාමාන්‍ය රුධිර වහනය
  • දැඩි හෝ නොනවතින උදර වේදනාව
  • නැවත නැවත ඇතිවන දැඩි වේදනාව
  • දියර පවා තබාගත නොහැකි තරම් වමනය
  • අධික දුර්වල බව, සිහි නැතිවීමට ආසන්න බව
  • උණ හෝ ආසාදන ලක්ෂණ
  • වෛද්‍යවරයාගෙන් හදිසි උපදෙස් අවශ්‍ය බව දැනෙන වෙනත් ලක්ෂණ

12 වන සතියේ ඔබට කළ හැකි කුඩා දේවල්

  • පෝෂ්‍යදායී ආහාර තෝරාගන්න
  • ප්‍රමාණවත් දියර පානය කරන්න
  • වෛද්‍යවරයා නිර්දේශ කළ සියලු විටමින් බොහෙත් වර්ග නිවැරදිව ගන්න
  • ප්‍රමාණවත් විවේකයක් ලබාගන්න
  • සුදුසු ශාරීරික ක්‍රියාකාරකම් කරන්න
  • නියමිත වෛදය හමුවිම් අතපසු නොකරන්න
  • ඔබට බියක් හෝ ප්‍රශ්නයක් තිබේ නම් අසන්න

ගැබිනි සමයේ පළමු සති 12 කියන්නේ ඔබේ ජීවිතයේ වෙනස්ම පරිච්ඡේදයක්. සමහර දවස්වල ඔබට බොහෝ සතුටක් දැනෙන්න ඇති. තවත් දවස්වල “මේ හැම දෙයක්ම මට පුළුවන් වෙයිද?” කියලා බය හිතෙන්න ඇති. කොහොම වුණත්, අද ඔබ මෙතැනට පැමිණ තිබෙනවා. සති 12ක් පුරා ඔබේ ශරීරය තුළ පුංචි ජීවිතයක් ආරක්ෂා කරමින්, ඒ ජීවිතය වෙනුවෙන් ඔබේම ජීවිතයත් වෙනස් කරමින් ඔබ ඉදිරියට ඇවිත් තිබෙනවා.

නමුත් 12 වන සතියේදී බොහෝ මව්වරුන්ට බිළිඳාගේ චලනය තවමත් දැනෙන්නේ නැහැ. ඒ නිසාම මගේ බබා හොඳින්ද? කියන බියගැබිනි සමයේදී අම්මා කෙනෙකුගේ හිතට නැවත නැවත එන ප්‍රශ්නයක් තමයි.විශේෂයෙන්ම තවමත් බිළිඳාගේ චලනය දැනෙන්නේ නැති නිසා, සමහර මව්වරුන්ට මේ ගැන කනස්සල්ලක් ඇතිවෙන්න පුළුවන්. කුස තුලබිළිඳා චලනය කළත්, එය මවට දැනෙන තරම් ප්‍රබල නොවිය හැක.ඒ නිසා මට බබා චලනය වෙනවා දැනෙන්නේ නැහැ, ඒ නිසා මොකක්හරි ප්‍රශ්නයක් කියලා සිතන්න එපා. බිළිඳාගේ වර්ධනය සහ යහපැවැත්ම තක්සේරු කරන්නේ වෛද්‍ය පරීක්ෂණ සහ සුදුසු අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණ මගිනි.

මගේ ශරීරය වෙනස් වෙලා…

වන සතිය වන විට ඔබේ ශරීරය වෙනස් වෙමින් පවතිනවා. සමහරවිට පියයුරු සංවේදී වීම, බඩ පිපීම, මලබද්ධය, නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම, සමේ වෙනස්කම්, ආහාර රුචියේ වෙනස්කම් වැනි දේවල් තවමත් තිබිය හැක. ඒ සමඟම බඩේ හැඩය වෙනස් වීම ගැනත් ඔබට විවිධ හැඟීම් ඇතිවිය හැක. කෙනෙක් දැන් ඔයාගේ බඩ පේනවා කියනවා. තවත් කෙනෙක් තවම බඩක්වත් නෑනේ කියනවා. ඒ දෙකෙන් එකක්වත් ඔබේ ගැබිනිභාවය ගැන මැනිය හැකි මිනුමක් නොවේ. ඔබේ ශරීරය වෙනත් ගැබිනි මවකගේ ශරීරය සමඟ සංසන්දනය කරන්න එපා.

එසේමගැබිනි සමයේදී ශරීරය වේගයෙන් වෙනස් වීම නිසා ඇතැම් විට පෙනුම ගැන ඔබ දුකෙන් විය හැකියි.  ඔබේ ශරීරය “වෙනස් වෙලා” කියන්නේ ඔබ අවලස්සන වෙලා කියන එක නෙවෙයි. ඔබේ ශරීරය මේ අවස්ථාවේදී විශාල කාර්යයක් කරමින් සිටිනවා. එය ගැබ් ගැනීම සඳහා අනුවර්තනය වෙමින්  බිළිඳාට අවශ්‍ය පරිසරය සකස් කරමින් ඔබව මවක කිරිමට සූදානම් කරමින් සිටී.

සහකරුටත් මේ ගමනේ කොටසක් තියෙනවා. ගැබ් ගැනීම සිදුවන්නේ මවගේ ශරීරය තුළ වුවත්, මේ අලුත් ගමන පවුලේ ගමනක්.සහකරුට මේ අවධියේදී කළ හැකි සරල දේවල් බොහෝමයක් තිබෙනවා.

ගැබිනි මවට සවන් දෙන්න – අද කොහොමද? කියන සරල ප්‍රශ්නයට ඇත්තටම සවන් දෙන්න.

නිවසේ වැඩ බෙදාගන්න – ඇයට අධික වෙහෙසක් තිබේ නම්, නිවසේ කටයුතු කිහිපයක් සැමියා භාරගැනීම ඇයට විශාල සහනයක් විය හැක.

වෛද්‍ය හමුවීම් ගැන නන්දු වන්න – වෛද්‍ය හමුවිම් සදහා ඇය සමග යන්න. ඇයට සහය වෙන්න.  

ඇයගේ බිය සුළු කර නොදකින්න – ඕවා ගැන හිතන්න එපා කියනවාට වඩා, ඔයාට බයක් තියෙනවා නම් අපි ඒ ගැන වෛද්‍යවරයාගෙන් අහමු කියන එක වඩාත් සහනදායක විය හැක.‍ෙ

සමාජ මාධ්‍ය හරහා අනෙක් ගැබිනි මව්වරුන් සමඟ ඔබව සංසන්දනය කරන්න එපා – අද Facebook ඇතුළු සමාජ මාධ්‍ය බොහොමයක ගැබිනි සමය පිළිබඳ විශාල තොරතුරු ප්‍රමාණයක් දැකිය හැකියි. කෙනෙක් තමන්ගේ 12 වැනි සතියේදී කුසේ ඡායාරූප පළ කරනවා. තවත් කෙනෙක් තමන්ට වමනය හෝ ඔක්කාරය නොමැති බව කියනවා. තවත් කෙනෙක් තමන්ට දැනටමත් බබාගේ චලනය දැනෙන බව පවසනවා. මේවා දැකීමෙන්,මට එහෙම නැහැනේ… කියලා ඔබට බියක් හෝ කනස්සල්ලක් ඇති විය හැකියි. ඔබේ ගැබිනි සමයේ තත්ත්වය තීරණය වන්නේ Instagram හෝ Facebook හි පළ කරන තොරතුරු මත නොවේ. එය තීරණය වන්නේ ඔබේ වෛද්‍යවරයාගේ පරීක්ෂණ, වෛද්‍ය උපදෙස් සහ ඔබේ සමස්ත සෞඛ්‍ය තත්ත්වය මත පමනක් බව මතක තබාගන්න. එක් එක් මවගේ ගැබිනි සමය එකිනෙකාට වෙනස්. ඒ නිසා අනෙක් අය සමඟ ඔබව සංසන්දනය නොකර, ඔබේ සහ ඔබේ පුංචි පැටියාගේ ගමන විශ්වාසයෙන් ගත කරන්න.

12 වන සතිය අවසන් වනවා කියන්නේ ඔබ පළමු ත්‍රෛමාසිකය අවසානයට පැමිණෙමින් සිටින බවයි. ඉදිරි සතිවලදී බොහෝ මව්වරුන්ට ශක්තිය ටිකෙන් ටික වැඩිවීම, උදැසන අපහසුතාඅඩුවීම, ආහාර රුචිය වෙනස් වීම, බඩේ වෙනස්කම් වඩාත් පැහැදිලි වීම වැනි අත්දැකීම් ඇතිවිය හැක. නමුත් නැවතත් මතක තබාගන්න සෑම මවකටම එකම අත්දැකීම ලැබෙන්නේ නැහැ. ඔබට තවමත් ඔක්කාරය තිබුණත්, වෙහෙස තිබුණත්, කුස තවම නොපෙනුණත් එය ගැටලුවක් ලෙස දැකිය නොහැකියි.

අමතක කරන්න එපා

  • ගැබිනි සමයේදී නියමිත වෛද්‍ය හමුවීම්වලට සහභාගී වීම ඉතා වැදගත්.

එහිදී ඔබේ සෞඛ්‍යය, රුධිර පීඩනය, බර, පරීක්ෂණ අවශ්‍යතා සහ බිළිඳාගේ වර්ධනය වැනි කරුණු ඔබේ ගර්භණී අවස්ථාව අනුව තක්සේරු කරනු ඇත. ඔබට තිබෙන ප්‍රශ්න හැකි නම් සටහන් කරගෙන යාමට පුරුදු වෙන්න.

උදාහරණයක් ලෙස

  • මට මේ ලක්ෂණය සාමාන්‍යද?
  • මට ගන්න ඕන විටමින් වර්ග  මොනවාද?
  • මගේ ඊළඟ scan එක කවදාද?
  • මට කළ යුතු පරීක්ෂණ මොනවාද?
  • මට ව්‍යායාම කරන්න පුළුවන්ද?

මේ සතිය මතකයක් කරගන්න 12 වන සතිය කියන්නේ ඔබට මතක තබාගන්න වටිනා සතියක්.

අද ඔබට පුළුවන් දින පොතේ පුංචි පැටියා වෙනුවෙන් යමක් ලියන්න.

ඔයා තවමත් මගේ අතේ නැහැ. ඔයාගේ මුහුණ මම දැකලා නැහැ. ඔයාගේ කටහඬ මම අහලා නැහැ. ඔයාගේ පුංචි අත මම අල්ලලා නැහැ. ඒත් ඔයා වෙනුවෙන් මම දැනටමත් හීන දකින්න පටන් අරගෙන.

වසර ගණනකට පස්සේ ඔබ වචන නැවත කියවන විට, අද දවස මතකයට එන්න පුළුවන්.

12 වන සතියේ අවසාන සටහන

සති 12කට කලින්… ඔබේ කුස හිස්ව තිබුණා. අද… එහි පුංචි ජීවිතයක් වේගයෙන් වර්ධනය වෙමින් පවතිනවා. ඔබට තවමත් ඒ පුංචි පැටියා ඔබේ අතින් අල්ලගන්න බැහැ. තවමත් ඔහුගේ හෝ ඇයගේ මුහුණ පැහැදිලිව දැකගන්න බැහැ. තවමත් “අම්මා” කියලා කියන්නේ නැහැ. නමුත් ඔබේ ජීවිතය දැනටමත් වෙනස් වෙලා. ඔබේ ආහාර ගැන සිතන විදිහ වෙනස් වෙලා. ඔබේ සෞඛ්‍යය ගැන සිතන විදිහ වෙනස් වෙලා. ඔබේ අනාගතය ගැන සිතන විදිහ වෙනස් වෙලා.

ඒ තමයි මාතෘත්වයේ ආරම්භය.

සමහරවිට මේ සති කිහිපය ඔබට ලේසි නොවෙන්න ඇති. සමහර දවස්වල ඔබ වෙහෙසට පත්වෙන්න ඇති. සමහර දවස්වල බය වෙන්න ඇති. ඒත් ඔබ මේ දුර ආවා. තව සතියක්. තවත් එක් පුංචි පියවරක්. ඉදිරියේදී ඔබේ කුස තුළ වැඩෙන ඒ පුංචි පැටියාගේ ලෝකය තව තවත් විශාල වේවි.

මූලික අදහස සහ උපදෙස්

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

(හෙද විද්‍යාවේදි – ගෞරව, සෞඛ්‍ය සේවා කළමනාකර – ගෞරව, බාහිර දේශක සහ ලේඛිකා)

සුතිකා පුහුණු අධිශ්‍රේණි හෙද නිලධාරිනි

නව ඡන්ම ළදරු දැඩි සත්කාර ඒකකය, ශික්ෂණ රෝහල, කුරුණැගල

මෙම ලිපිය සාමාන්‍ය දැනුවත් කිරීම සඳහා පමණි. ඔබගේ ගැබිනි සමය සම්බන්ධයෙන් ඕනෑම ගැටලුවක් හෝ සැකයක් ඇත්නම්, ඔබගේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා හෝ සුදුසුකම් ලත් සෞඛ්‍ය වෘත්තිකයෙකුගේ උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍ය වේ.

Leave feedback about this

  • Quality
https://nusantarabola.id/