සති 12ක් පුරා ඔබේ කුස තුළ නිහඬව වැඩුණු පුංචි ජීවිතය දැන් තවත් ක්‍රියාශීලී වෙමින් පවතිනවා. ඔබට තවමත් ඒ පුංචි චලනයන් දැනෙන්නේ නැති වුණත්, පුංචි පැටියා බන්ඩිය ඇතුළේ නිකම්ම නම් ඉන්නේ නැහැ…”
ඔබ දැන් ගැබිනි සමයේ 13 වන සතියට පැමිණ තිබෙනවා නම්, ඔබේ ගමනේ තවත් සුන්දර සන්ධිස්ථානයකට පැමිණිලා.
12 වන සතිය අවසන් කරමින්, ඔබ දැන් පළමු ත්‍රෛමාසිකයේ අවසාන සීමාවට පැමිණ සිටිනවා. පසුගිය සති කිහිපය ගැන මතක් කරලා බලන්න.
- ඔබට උදෑසන අවදි වූ විගසම ඔක්කාරය දැනෙන්න ඇති
- කලින් ආසාවෙන් කෑ ආහාරයක් දැන් දැක්කත් අකමැති වෙන්න ඇති
- දවස මැදදී හදිසියේම නිදිමතක් එන්න ඇති
- සමහර දවස්වල කිසිම විශේෂ ලක්ෂණයක් නැතිව “අද මට හොඳයි වගේ” කියලා දැනෙන්නත් ඇති.
මේ හැමදේම අතරේ, ඔබේ කුස ඇතුළේ සිදුවන වෙනස්කම් නම් නතර වෙලා නැහැ. ඔබේ පුංචි පැටියා දැන් තවත් මනුෂ්‍ය බිළිඳෙකුගේ හැඩය පැහැදිලිව ගනිමින් සිටිනවා.
13 වන සතියේ ඔබේ බබා කොතරම් විශාලද?
13 වන සතිය වන විට බිළිඳාගේ හිස සිට තට්ටම් දක්වා දිග (crown-rump length) සෙන්ටිමීටර 7කට ආසන්න විය හැක. බරත් සති ගණනත් සමඟ ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී. කොහොම වුණත්, “13 වන සතියේ බබාගේ ප්‍රමාණය හරියටම මෙච්චරයි” කියලා එකම අගයක් දෙන්න බැහැ. එක් එක් ගර්භණීභාවය අනුව බිළිඳාගේ වර්ධනයේ සුළු වෙනස්කම් තිබිය හැක. ඒ නිසා අපි පැටියාගේ ප්‍රමාණය උදාහරණ දෙනවාට වඩා වැදගත් වන්නේ වෛද්‍යවරයා අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණයේදි තක්සේරු කරන වර්ධනයයි.
බබා අම්මාගේ බන්ඩිය ඇතුළේ නටනවාද?
ඔව්… ඔබට නොදැනුණත් බබා මේ අවධියේදී චලනය වෙමින් සිටී. අත් පා නැමීම, දිගහැරීම සහ ශරීරය චලනය කිරීම වැනි ක්‍රියා සිදුවිය හැක. නමුත් ඔබට තවමත් ඒවා දැනෙන්නේ නැති වීම සාමාන්‍යයි. පළමු වරට මවක් වන කෙනෙකුට බිළිඳාගේ චලනය දැනෙන්න පටන් ගන්නේ බොහෝවිට 16 – 20 සති අතර වන අතර, එය මවකගෙන් මවකට වෙනස් විය හැක. ඒ නිසා 13 වන සතියේදී මට බබා තවම චලනය වෙනවා දැනෙන්නේ නැහැ කියලා කලබල වෙන්න අවශ්‍ය නැහැ.
- බබාගේ මොළය තවදුරටත් වේගයෙන් වර්ධනය වෙයි – 13 වන සතියේදී බිළිඳාගේ මොළය සහ ස්නායු පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් පවතී. මොළයේ විවිධ ප්‍රදේශ ක්‍රමයෙන් වඩාත් සංවිධානාත්මක වෙමින් පවතින අතර, ස්නායු පද්ධතිය ශරීරයේ අනෙකුත් කොටස් සමඟ සම්බන්ධ වෙමින් පවතී. මේ නිසා බිළිඳාගේ චලනයන් වඩාත් සම්බන්ධීකරණය වෙමින් යන ක්‍රියාවලිය ඉදිරියට යයි.
- බබාගේ කන් තවදුරටත් වර්ධනය වෙයි – බිළිඳාගේ කන්වල බාහිර හැඩය තවදුරටත් වර්ධනය වෙමින් පවතී. ඉදිරියේදී ශ්‍රවණ පද්ධතියත් තවදුරටත් පරිණත වනු ඇත. බිළිඳාගේ ශ්‍රවණ හැකියාව ගර්භණී සමය පුරා ක්‍රමයෙන් වර්ධනය වන ක්‍රියාවලියකි.
- පුංචි මුහුණ තවත් පැහැදිලි වෙනවා – පසුගිය සතිවලට වඩා දැන් බිළිඳාගේ මුහුණේ ව්‍යුහය වඩාත් පැහැදිලි වෙමින් පවතී. නාසය, මුඛය, ඇස්, කන් වැනි ව්‍යුහයන් තවදුරටත් වර්ධනය වෙමින් පවතී. බිළිඳාගේ හිස තවමත් ශරීරයට සාපේක්ෂව විශාල වුවත්, ඉදිරි සතිවලදී ශරීරය වේගයෙන් වර්ධනය වීමත් සමඟ ශරීරයේ සමානුපාතය ක්‍රමයෙන් වෙනස් වේ.
- අස්ථි වර්ධනයටත් වැදගත් කාලයක් – 13 වන සතිය වන විට බිළිඳාගේ අස්ථි ව්‍යුහය තවදුරටත් සංවර්ධනය වෙමින් පවතී. හිස, අත් සහ පාදවල අස්ථි ව්‍යුහයන් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතිනවා. ඉදිරි සතිවලදී මේවා තවදුරටත් ශක්තිමත් වෙමින් පරිණත වනු ඇත. ඒ නිසා මවගේ ආහාර වේලෙහි කැල්සියම් සහ අනෙකුත් අවශ්‍ය පෝෂක පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්.
අභ්‍යන්තර අවයව නිර්මාණය වීමෙන් පරිණත වීම වෙත
පළමු ත්‍රෛමාසිකයේදී බිළිඳාගේ මූලික ශරීර ව්‍යුහයන් සහ අවයව බොහෝමයක් නිර්මාණය වීමේ වැදගත් අදියරක් පසුකර තිබෙනවා. 13 වන සතියෙන් පසු ඉදිරියට යන විට අවධානය වැඩි වන්නේ ඒවා තවදුරටත් වර්ධනය වීම සහ පරිණත වීම වෙතයි. අක්මාව, වකුගඩු, ආහාර ජීර්ණ පද්ධතිය සහ අනෙකුත් පද්ධති ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. මේක ඇත්තටම පුදුම හිතෙන දෙයක් නේද? ඔබේ කුස ඇතුළේ ඇති මේ පුංචි ජීවිතය දවසින් දවස “බබෙක්” බවට පත්වෙමින් පවතිනවා.
වැදැමහ ඉටුකරන කාර්යයේ වැදගත්කම
මෙම අවධියේදී වැදැමහ ඔබේ ගර්භණීභාවයේ ඉතා වැදගත් කොටසක්. එය මව සහ බිළිඳා අතර ඔක්සිජන්, පෝෂක, අපද්‍රව්‍ය ඉවත් කිරීම වැනි දේ සම්බන්ධ කරන වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ඒ වගේම ගැබිනි සමයේ අවශ්‍ය හෝමෝන නිපදවීමටත් වැදගත් වේ. පෙකෙනි වැල හරහා වැදමහ සහ බිළිඳා සම්බන්ධ වී තිබෙනවා.
දැන් අම්මාට දැනෙන්නේ මොනවා?
13 වන සතියට පැමිණෙන විට සමහර මව්වරුන්ට මුල් සතිවල තිබුණු අපහසුතා ටිකෙන් ටික අඩුවෙන්න පුළුවන්. විශේෂයෙන් ඔක්කාරය අඩුවීම, අධික වෙහෙස අඩුවීම, ආහාර රුචිය වැඩිවීම වැනි වෙනස්කම් ඇතිවිය හැක. ඒත් මෙය හැමෝටම එකම ආකාරයෙන් සිදුවන්නේ නැහැ. 13 වන සතියේදීත් මේ අපහසුතා තිබීම අසාමාන්‍ය දෙයක් නොවේ. සමහර මව්වරුන්ට එය තවත් සති කිහිපයක් පැවතිය හැක. “අනේ… මට දැන් ටිකක් හොඳයි!” මුල් සති කිහිපය පුරා ඔක්කාරයෙන් සහ වෙහෙසෙන් පීඩා විඳි මවකට, 13 වන සතියේදී ඒ ලක්ෂණ ටිකක් අඩුවීම විශාල සහනයක් වගේ දැනෙන්න පුළුවන්. උදේ නැගිටින විට කලින් වගේ ඔක්කාරයක් නැහැ. කෑම දැක්කාම කලින් වගේ අකමැත්තක් නැහැ. දවසේ වැඩ ටිකක් කරන්නත් ශක්තිය තියෙනවා. ඒක බොහෝ මව්වරුන්ට පළමු ත්‍රෛමාසිකයේ දෙවන ත්‍රෛමාසිකයට මාරුවෙද්දී ලැබෙන සුන්දර සහනයක් විය හැක.
දැන් කුස පිටතට පේන්න පටන් ගනීද?
මෙයත් මවගෙන් මවට වෙනස්. සමහරුන්ට 13 වන සතියේදී කුඩා කුසක් පෙනෙන්න පුළුවන්. තවත් සමහරුන්ට තවමත් බඩේ විශාල වෙනසක් නොපෙනෙන්න පුළුවන්.
එය
- පළමු ගර්භණීභාවයද?
- මවගේ ශරීර ව්‍යුහය
- ගර්භාශයේ පිහිටීම
- පෙර ගර්භණීභාවයන් වැනි කරුණු නිසා වෙනස් විය හැක.
ඒ නිසා “13 වන සතියේ කුස මෙපමන විශාල විය යුතුයි” කියලා නිශ්චිත ප්‍රමාණයක් නැහැ.
තවමත් බබාගේ චලනය නොදැනුණා කියා බියට පත්විය යුතුත් නැහැ. මේක නැවත නැවත කිව යුතු වන්නේ මව්වරුන් අනෙක් මව්වරුන් හා සසදමින් පිඩාවට පත්වන නිසාමය. 13 වන සතියේදී බිළිඳා චලනය වුවත් බොහෝ මව්වරුන්ට ඒ චලනය තවමත් දැනෙන්නේ නැහැ. පළමු වතාවට ගැබ් ගත් මවකට පුංචි පැටියාගේ චලනයන් බොහෝවිට දැනෙන් පටන් ගන්නේ 16 – 20 සති අතරදීයි. ඒ නිසා 13 වන සතියේදී කලලයේ චලන නොදැනීම සාමාන්‍ය විය හැක.
මේ සතියේ අම්මා මතක තබාගත යුතු දේ
- වන සතියේදී ඔබට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔබේ ශරීරයට සවන් දීම.
- පෝෂ්‍යදායී ආහාර ගන්න
- ප්‍රමාණවත් දියර පානය කරන්න
- වෛද්‍යවරයා නිර්දේශ කළ විටමින් නිවැරදිව ගන්න
- සුදුසු මට්ටමේ ශාරීරික ක්‍රියාකාරකම් කරන්න
- ප්‍රමාණවත් විවේකයක් ලබාගන්න
- නියමිත වෛද්‍ය හමුවීම් අතපසු නොකරන්න
- අනෙක් මව්වරුන් සමඟ ඔබේ ගැබිනි සමයේ එක් එක් දේ සංසන්දනය නොකරන්න.
13 වන සතියේ පුංචි මතක් කිරීම
ඔබ දැන් පළමු ත්‍රෛමාසිකයේ අවසානයට පැමිණ තිබෙනවා. පසුගිය සති 12 තුළ ඔබේ බබාගේ ශරීරයේ මූලික ව්‍යුහයන් බොහෝමයක් වර්ධනය වී තිබෙනවා. දැන් ඉදිරියේදී සිදුවන්නේ ඒ පුංචි ශරීරය තව තවත් වර්ධනය වීම, ශක්තිමත් වීම සහ පරිණත වීමයි.
ඒ අතරේ ඔබත් වෙනස් වෙනවා. ඔබේ ශරීරය, ඔබේ දෛනික ජීවිතය, ඔබේ සිතුවිලි, ඔබේ අනාගතය ගැන තිබෙන හීන, මේ හැම දෙයක්ම එකට එකතු වෙලා තමයි “අම්මා කෙනෙක් වීමේ” ගමන ගොඩනැගෙනවා.
අම්මාගේ පෝෂණය, සෞඛ්‍යය සහ දෛනික රැකවරණය
13 වන සතියට පැමිණෙන විට බොහෝ මව්වරුන්ට දැනෙන්නේ, “දැන් නම් මගේ ශරීරය ටිකක් මට හුරු වෙලා වගේ” කියන හැඟීමක්. මුල් සතිවල තිබුණු ඔක්කාරය, වමනය සහ අධික වෙහෙස සමහරුන්ට අඩුවෙන්න පුළුවන්. ඒ නිසා ආහාර ගැනීමත්, දෛනික වැඩ කටයුතු කිරීමත් ටිකක් පහසු විය හැක. නමුත් මේ කාලය කියන්නේ “දැන් හැම දෙයක්ම අමතක කරන්න පුළුවන්” කියන කාලයක් නොවේ. බබාගේ වර්ධනය ඉදිරියට යන නිසා, අම්මාගේ පෝෂණය සහ සෞඛ්‍ය රැකවරණය තවදුරටත් ඉතා වැදගත්.
“දැන් මම කන්න ඕනේ මොනවාද?”
ගැබිනි සමයේදී සෑම ආහාරයක්ම “බබාට” පමණක් නොව, අම්මාගේ ශරීරයටත් අවශ්‍ය පෝෂණය ලබාදෙනවා. එක් ආහාරයකට පමණක් අවධානය යොමු කරනවාට වඩා විවිධ ආහාර කාණ්ඩවලින් ආහාර ගැනීම වැදගත්.
- ධාන්‍ය සහ පිෂ්ටමය ආහාර – බත්, පාන්, කුරක්කන්, බතල, අල වැනි ආහාර ශක්තිය ලබාදෙයි. හැකි විට whole-grain options තෝරාගැනීම හොඳ පුරුද්දක්.
- ප්‍රෝටීන් – බබාගේ වර්ධනයට සහ මවගේ ශරීරයට ප්‍රෝටීන් අවශ්‍යයි. හොඳින් පිසූ බිත්තර, මාළු, හොඳින් පිසූ මස්, පරිප්පු, කඩල, මුං ඇට, බෝංචි, ඇට වර්ග වැනි ආහාර එකතු කළ හැක.
- එළවළු සහ පලතුරු – හැකි සෑම විටම විවිධ වර්ණවල එළවළු සහ පලතුරු ආහාරයට එකතු කරගන්න. ඒවා මඟින් විවිධ විටමින්, ඛනිජ සහ තන්තු ලබාගත හැක. විශේෂයෙන් මලබද්ධය ඇති මව්වරුන්ට තන්තු සහ ප්‍රමාණවත් දියර ලබාගැනීම උපකාරී විය හැක. පලතුරු සහ එළවළු හොඳින් සෝදා ආහාරයට ගැනීමත් වැදගත්.
- යකඩ – අම්මාගේ රුධිරයට වැදගත් පෝෂකයක්. ගර්භණී සමයේදී මවගේ රුධිර පරිමාව වැඩි වන නිසා යකඩ අවශ්‍යතාවද වැඩි වේ. යකඩ අඩුවීමෙන් රක්තිහිනතාවය ඇති විය හැක. ඒ නිසා ඔබට වෛද්‍යවරයා විසින් අමතරව අයන් ලබාදී ඇත්නම්, නිර්දේශ කළ මාත්‍රාවට අනුව ලබාගන්න. යකඩ අඩංගු ආහාර අතර මස්, මාළු, බිත්තර, පරිප්පු, කඩල සහ බෝංචි, කොළ පැහැති එළවළු වැනි ආහාර තිබේ.
- විටමින් C – විටමින් C අඩංගු පලතුරු සහ එළවළු ආහාරයට එකතු කිරීම සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක කොටසක්. දොඩම්, නාරං වැනි පලතුරු සහ වෙනත් විටමින් C අඩංගු ආහාර ලබාගත හැක. විශේෂයෙන් ශාකමය ආහාරවල ඇති යකඩ ශරීරයට අවශෝෂණය වීමට විටමින් C උපකාරී වේ.
- කැල්සියම් සහ විටමින් D – මේ කාලය තුළ බිළිඳාගේ අස්ථි ව්‍යුහය තවදුරටත් වර්ධනය වෙමින් පවතී. කැල්සියම් මවගේ සහ බිළිඳාගේ අස්ථි සෞඛ්‍යයට වැදගත්. කිරි, යෝගට් සහ කැල්සියම් අඩංගු වෙනත් ආහාර ලබාගත හැක. නමුත් විටමින් D හෝ කැල්සියම් මාත්‍රා හිත්මතේට වෙනස් කල නොහැකියි. ඔබට අවශ්‍ය ප්‍රමාණය ඔබේ ආහාර රටාව, පරීක්ෂණ සහ ගර්භණී තත්ත්වය අනුව වෛද්‍යවරයා තීරණය කරයි.
- වෙනත් විටමින් – වෛද්‍යවරයාගේ නිවැරදි උපදෙස් අනුව ලබාගන්න. දැන් 13 වන සතිය නිසා තම මතයට අනුව ෆෝලික් අම්ල විටමිනය නතර කිරිම හෝ වෙනත් විටමින් වර්ග ලබා ගැනිම හෝ නොකල යුතුය. ඔබේ වෛද්‍යවරයා සමඟ ඒ ගැන කතා කිරීම වඩාත් ආරක්ෂිතයි.
- ජලය – සරලයි, නමුත් වැදගත්.ගර්භණී සමයේදී ප්‍රමාණවත් දියර ලබාගැනීම වැදගත්. ජලය අඩුවීමෙන් හිසරදය, තෙහෙට්ටුව, මලබද්ධය, විජලනය වැනි අපහසුතා ඇතිවිය හැක. ඔබට වමනය හෝ ඔක්කාරය තිබේ නම්, එකවර විශාල ප්‍රමාණයක් පානය කරනවාට වඩා දවස පුරා කුඩා ප්‍රමාණවලින් පානය කිරීම පහසු විය හැක.
- ආහාර සුරක්ෂිතතාව ගැන මතක තබාගන්න – ගැබිනි සමයේදී ආහාර නිසා ඇති වන රෝග වලක්වා ගැනිමත් ආරක්ෂා වීමත් වැදගත්.
ඒ නිසා
- ආහාර හොඳින් පිසගන්න
- පලතුරු සහ එළවළු හොඳින් සෝදන්න
- අමු ආහාර සහ පිසූ ආහාර වෙන් කර තබන්න
- අමු මස් ස්පර්ශ කළ උපකරණ පිරිසිදු කරන්න
- කිරි ආහාර ගැන සැලකිලිමත් වෙන්න
- අමු හෝ අඩුවෙන් පිසූ මස්, බිත්තර සහ ඇතැම් මුහුදු ආහාරවලින් ආසාදන ඇතිවීමේ අවදානම වැඩි විය හැකි බව සිහි තබා ගන්න.
- මාළු – විශේෂයෙන්ම කතා කලොත් මාළු කියන්නේ ගර්භණී සමයේදී හොඳ පෝෂණ ප්‍රභවයක්. එහි ප්‍රෝටින සහ ඇතැම් omega-3 මේද අම්ල අන්තර්ගතයි. නමුත් සියලුම මාළු එකම ආකාරයෙන් නොසැලකිය යුතුයි. විශාල, දිගු කාලයක් ජීවත් වන ඇතැම් මාළු වල රසදිය ප්‍රමාණය වැඩි විය හැකි නිසා ගර්භණී සමයේදී මාලු තෝරාගැනිමේදි ඔබේ ප්‍රදේශයේ සෞඛ්‍ය උපදෙස් සහ වෛද්‍ය උපදෙස් අනුගමනය කරන්න.
- තේ සහ කෝපි – ගැබිනි සමයේදී caffeine සම්පූර්ණයෙන්ම අත්හැරිය යුතුයි කියන එක සෑම කෙනෙකුටම අනිවාර්ය නොවේ. නමුත් caffeine ප්‍රමාණය සීමා කිරීම වැදගත්. කෝපි පමණක් නොව තේ, කෝලා, හක්තිජනක පාන වර්ග, චොකලට් වැනි දේවලත් caffeine තිබිය හැක. ඒ නිසා දවස පුරා ඔබ ලබාගන්නා මුළු caffeine ප්‍රමාණය ගැන අවධානය යොමු කරන්න.
- මත්පැන් සහ දුම්පානයෙන් වලකින්න – ගර්භණී සමයේදී දුම්පානයෙන් වැළකීම ඉතා වැදගත් අනෙක් අයගේ දුමට නිරාවරණය වීමත් හැකි තරම් අවම කළ යුතුයි. මත්පැන් සම්බන්ධයෙන්ද, ගර්භණී සමයේදී ආරක්ෂිත ප්‍රමාණයක් තහවුරු කර නොමැති නිසා එයින් වැළකීම නිර්දේශ කෙරේ.
දැන් ව්‍යායාම කරන්න පුළුවන්ද?
ගර්භණීභාවය සාමාන්‍ය ලෙස සිදුවන සහ වෛද්‍යවරයා විසින් ව්‍යායාම සීමා කර නොමැති මව්වරුන්ට සුදුසු ශාරීරික ක්‍රියාකාරකම් සාමාන්‍යයෙන් ප්‍රයෝජනවත්.
උදාහරණයක් ලෙස ඇවිදීම, ගැබිනි සමයට සුදුසු යෝගා, පිහිනිම වැනි දේ වෛද්‍ය උපදෙස් අනුව කළ හැක. නමුත් “ගැබිනි මවක් නිසා ව්‍යායාම කළ යුතුමයි” කියලා ඔබව බලෙන් වෙහෙසට පත් කරගන්න අවශ්‍ය නැහැ. ඔබේ සෞඛ්‍ය තත්ත්වය අනුව සුදුසු මට්ටම තීරණය කරන්න.
තවද 13 වන සතියේදී වෙහෙස අඩුවුණත්, ඒකෙන් අදහස් වන්නේ ඔබට විවේකය අවශ්‍ය නැති බව නොවේ. ඔබේ ශරීරය විශාල වෙනසක් හරහා යනවා. ඒ නිසා ඔබට වෙහෙස දැනෙන විට විවේකයක් ලබාගන්න. විවේක ගැනීම කම්මැලිකමක් නොවේ.
13 වන සතියේදී වෛද්‍ය හමුවීම ගැන
ඔබේ වෛද්‍ය හමුවීම් අතපසු නොකරන්න. වෛද්‍යවරයා ඔබේ ගර්භණීභාවයට ගැළපෙන පරිදි
- රුධිර පීඩනය
- බර
- රුධිර පරීක්ෂණ
- මුත්‍රා පරීක්ෂණ
- අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණ
- විටමින්
- ඉදිරි පරීක්ෂණ වැනි දේ පිළිබඳව උපදෙස් ලබාදිය හැක.
ගර්භණී සමයේදී සමහර අපහසුතා සාමාන්‍ය විය හැක. පහත ලක්ෂණ තිබේ නම් නොසලකා හරින්න එපා
නමුත්
- අධික රුධිර වහනය
- දැඩි හෝ නොනවතින උදර වේදනාව
- සිහි නැතිවීම හෝ සිහි නැතිවීමට ආසන්න බව
- දියර පවා තබාගත නොහැකි තරම් වමනය
- උණ
- හදිසියේ ඇතිවන දැඩි අපහසුතාවක් වැනි ලක්ෂණ ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් ලබාගන්න. හදිසි හෝ දැඩි ලක්ෂණ තිබේ නම් ප්‍රමාද නොවී වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.
ඒ වගේම මම හැමදේම හරියට කරනවාද? යන ප්රශ්නය බොහෝ අම්මලාගේ හිතට එනවා. ඔබට හැමදාම හොදම ආහාර වේලක් ගන්න බැරි වෙන්න පුළුවන්. හැමදාම ව්‍යායාම කරන්න බැරි වෙන්න පුළුවන්. සමහර දවසක වැඩිපුර විවේක ගන්න වෙන්න පුළුවන්. ඒකෙන් ඔබ නරක අම්මා කෙනෙක් වෙන්නේ නැහැ. ගැබිනි සමය කියන්නේ නිවැරදිම විය හැකි කාලයක් නෙවෙයි. ඔබට හැකි පමණින් ආරක්ෂිත, පෝෂ්‍යදායී සහ සෞඛ්‍ය සම්පන්න පුරුදු පවත්වාගෙන යන එකයි වැදගත්.
ගැබිනි සමයේ 13 වන සතිය – “දැන් අපි අලුත් අවධියකට යනවා…”
සති 13ක්. ඒ කියන්නේ තවමත් ඔබේ ගැබිනි සමයේ මුල් අවධිය. ඒත් පසුගිය සති කිහිපය ගැන හිතුවොත් මේ පුංචි කාලය තුළ කොච්චර දේවල් වෙනස් වෙලාද කියලා ඔබටම හිතාගන්න බැරි වෙන්න පුළුවන්.
මුල් සතිවල තිබුණු බිය, මගේ බබා හොඳින් වැඩෙනවාද? මේ වේදනාව සාමාන්‍යද? මට මේ ආහාරය කන්න පුළුවන්ද? මට තවමත් බබා චලනය වෙනවා දැනෙන්නේ නැත්තේ ඇයි? වගේ ප්‍රශ්න එක්ක ඔබ මේ දුර ආවා. දැන් ඔබ දෙවන ත්‍රෛමාසිකයේ දොරටුව අසලයි.
පළමු ත්‍රෛමාසිකය අවසන් වීම කියන්නේ මොකක්ද?
ගැබ් ගැනීම සාමාන්‍යයෙන් පළමු, දෙවන සහ තෙවන ත්‍රෛමාසික ලෙස තුනකට බෙදනවා. ඒ අනුව 13 වන සතියේදී ඔබ දෙවන ත්රෛමාසිකයටඇතුළු වන අවධිය ආරම්භ වෙනවා. මේක බොහෝ මව්වරුන්ට සතුටුදායක සන්ධිස්ථානයක්. නමුත් ත්‍රෛමාසිකය මාරු වුණා කියලා එක රැයකින් ඔබේ ශරීරය වෙනස් වෙන්නේ නැහැ. වෙනස්කම් ටිකෙන් ටික සිදු වෙනවා.
අම්මාගේ හිතත් වෙනස් වෙන්න පුළුවන්
ශරීරයේ වෙනස්කම් වගේම මානසික වෙනස්කම්ද ගැබිනි සමයේ කොටසක්. එක් දවසක ඔබ බබා ගැන හිතලා සතුටින් ඉන්න පුළුවන්. තවත් දවසක අනාගතය ගැන බය වෙන්න පුළුවන්. මම හොඳ අම්මා කෙනෙක් වෙයිද? දරු උපත කොහොම වේවිද? බබා ලැබුණාම මගේ ජීවිතය කොහොම වෙනස් වෙයිද? වගේ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. මේ හැඟීම් ඇතිවීමෙන් ඔබ නරක අම්මා කෙනෙක් වෙන්නේ නැහැ. ගැබිනි සමය කියන්නේ ශරීරයේ පමණක් නොව, හිතේත් විශාල වෙනසක් සිදුවන කාලයක්.
ඔබේ හිතටත් රැකවරණය අවශ්‍යයි. ඔබට බියක්, කනස්සල්ලක් හෝ අධික මානසික පීඩනයක් දැනෙනවා නම්, ඒ ගැන විශ්වාස කරන කෙනෙකු සමඟ කතා කරන්න.සහකරු, පවුලේ සාමාජිකයෙක් හෝ ඔබේ වෛද්‍යවරයා සමඟ ඒ ගැන කතා කිරීම ප්‍රයෝජනවත් විය හැක.ගැබ් ගෙන නිසා මට සතුටින් ඉන්නම ඕනේ” කියලා ඔබේ සැබෑ හැඟීම් යටපත් කරගන්න අවශ්‍ය නැහැ. සතුටත්, බයත්, උද්යෝගයත්, කනස්සල්ලත් එකම ගමනක කොටස් වෙන්න පුළුවන්.
පවුලේ සහය මේ අවධියේත් වැදගත්. ගැබිනි මවකට සහය දීම කියන්නේ ඇයට විශාල දේවල් කරදීම විතරක් නෙවෙයි. සමහරවිට ඇය කියන දේ අහගෙන සිටීම,, නිවසේ වැඩවලට සහය වීම සෞඛ්‍ය සම්පන්න ආහාර සූදානම් කරදීම, වෛද්‍ය හමුවීම් මතක තබාගැනීමට උදව් කිරීම, ඇයගේ බිය සුළු කර නොසලකා සිටීම වගේ සරල දේවල් විශාල සහනයක් විය හැක.
ඇඳුම් ගැනත් දැන් සිතන්න වෙයි. ඔබේ කුස ක්‍රමයෙන් වර්ධනය වන විට කලින් පහසු වූ ඇඳුම් තද බවක් දැනෙන්න පුළුවන්. ඒ වෙලාවේත් තවමත් ගැබිනි සමයට සුදුසු ඇදුම් ඕනේ නැහැ කියලා ඔබව අපහසුතාවයට පත් කරගන්න අවශ්‍ය නැහැ. ඔබට පහසු, නිදහස් ඇඳුම් තෝරාගන්න. වැදගත් වන්නේ ඔබ පහසුවෙන් සිටිමයි.
නින්ද සහ විවේකය අවැසියි. 13 වන සතියේදීත් ප්‍රමාණවත් නින්දක් සහ විවේකයක් ලබාගැනීම වැදගත්. ඉදිරි සතිවලදී බඩේ ප්‍රමාණය වැඩිවීමත් සමඟ නිදාගැනීමේ පහසු ඉරියව් වෙනස් විය හැක. ඒ නිසා දැනටමත් ඔබට පහසු සේ නින්දට කාලසටහනක් සකසා ගැනීම හොඳ අදහසක්. ගර්භණී සමයේ නින්ද සම්බන්ධ විශේෂ ගැටලුවක් තිබේ නම් ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගන්න.
ආදරණීය අම්මා,
ඔබට තවමත් ඔබේ බබාව දෝතට ගෙන නැහැ. ඔබ තවමත් ඔහුගේ හෝ ඇයගේ මුහුණ පැහැදිලිව දැකලා නැහැ. තවමත් පුංචි අත ඔබේ ඇඟිල්ල වටේ තදින් අල්ල ගෙන නැහැ. ඒත් ඔබ දැනටමත් අම්මා කෙනෙක්. ඔබේ බබා වෙනුවෙන් ආහාර තෝරන විට, වතුර බොන විට, වෛද්‍යවරයා වෙත යන විට, විවේක ගන්න විට, ඔබේ ශරීරයේ වෙනසක් ගැන සැලකිලිමත් වන විට ඔබ දැනටමත් ඔබේ බබා වෙනුවෙන් බොහෝ දේ කරමින් සිටිනවා. ඒ නිසා මේ ගමනේදී ඔබ, ඔබටත් ආදරයෙන් සලකන්න. ඔබට හැකි පමණින් හොඳින් කන්න. හොඳින් විවේක ගන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. බය නම් කතා කරන්න. ඒ වගේම… ඔබ මේ ගමන යන්නේ තනියම නෙවෙයි.
ඔබ දවසින් දවස ඔබේ පුංචි පැටියා සමඟ තව තවත් සමීප වෙමින් සිටීයි. අද පුංචි පැටියාව අතට ගන්න බැරි වුණත්, ඔබේ හිතේ නම් එයාට දැනටමත් ලොකුම තැනක් තියෙනවා.

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය
(හෙද විද්‍යාවේදි – ගෞරව, සෞඛ්‍ය සේවා කළමනාකරණ – ගෞරව, බාහිර දේශක සහ ලේඛිකා)
සුතිකා පුහුණු අධිශ්‍රේණි හෙද නිලධාරිනි
නව ඡන්ම ළදරු දැඩි සත්කාර ඒකකය, ශික්ෂණ රෝහල, කුරුණැගල
මෙම ලිපිය සාමාන්‍ය දැනුවත් කිරීම සඳහා පමණි. ඔබගේ ගැබිනි සමය සම්බන්ධයෙන් ඕනෑම ගැටලුවක් හෝ සැකයක් ඇත්නම්, ඔබගේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා හෝ සුදුසුකම් ලත් සෞඛ්‍ය වෘත්තිකයෙකුගේ උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍ය වේ.


Leave feedback about this