ගැබිනි කාල සිමාවේ 7 වන සතිය යනු දරුවාගේ වර්ධනය ඉතා වේගයෙන් සිදුවන, ඒ සමඟම මවගේ ශරීරයද ගැබිනි සමයට උචිත පරිදි තවදුරටත් හුරු වන වැදගත් සතියකි. බාහිරින් තවමත් විශාල වෙනසක් නොපෙනුණද, ගර්භාෂය තුළ කුඩා ජීවිතයක් සෑම මොහොතකම අලුත් අවයව සහ පද්ධති නිර්මාණය කරමින් වර්ධනය වෙමින් පවතී.
මෙම කාලයේදී බොහෝ මව්වරුන්ට උදෑසන අසනීප ගතිය (Morning Sickness), අධික වෙහෙස, සුවඳවලට සංවේදී වීම, ආහාර රුචි අරුචිකම් ඇති වීම වැනි රෝග ලක්ෂණ වැඩි වශයෙන් දැනිය හැකිය. ඒවා බොහෝ විට ගැබිනි සමයේ සාමාන්‍ය කොටසක් වුවද, තම සෞඛ්‍යය සහ දරුවාගේ වර්ධනය පිළිබඳ නිවැරදි දැනුම තිබීම ඉතා වැදගත්ය.
හත්වන සතියේ බිළිඳාගේ වර්ධනය
7 වන සතියේදී ඔබේ බිළිඳාගේ දිග සාමාන්‍යයෙන් මිලිමීටර් 9 සිට 13 දක්වා (සෙන්ටිමීටර් 1කට ආසන්න) වන අතර බර ග්‍රෑම් එකකටත් වඩා අඩුය. ප්‍රමාණයෙන් කුඩා බ්ලූබෙරි ගෙඩියකට සමාන වුවද, ශරීරයේ ප්‍රධාන අවයව සියල්ලම නිර්මාණය වීමට ආරම්භ වී ඇත.
මොළය සහ ස්නායු පද්ධතිය
මෙම සතියේදී මොළයේ වර්ධනය අතිශය වේගයෙන් සිදුවේ. සෑම මිනිත්තුවකම නව ස්නායු සෛල දහස් ගණනක් නිර්මාණය වෙමින් මොළයේ විවිධ කොටස් වෙන්වීම ආරම්භ වේ.
- ඉදිරි මොළය (Forebrain)
- මැද මොළය (Midbrain)
- පසු මොළය (Hindbrain)
යන කොටස් තවදුරටත් වර්ධනය වන අතර, ඉදිරියේදී චලනය, මතකය, සිතුවිලි සහ හැඟීම් පාලනයට මේවා මූලික වේ.
හෘදයේ වර්ධනය
7 වන සතිය වන විට බිළිඳාගේ හදවත නිසි ලෙස කුටීර හතරක් ඇති හදවතක් බවට වර්ධනය වෙමින් පවතී. හෘද ස්පන්දනය විනාඩියකට 120 – 160 වරක් පමණ විය හැකි අතර, සමහර අවස්ථාවල අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණයකදී එය දැකගත හැකිය. හදවත මේ වන විටත් ශරීරය පුරා රුධිරය පොම්ප කිරීම ආරම්භ කර ඇත.
මුහුණේ වර්ධනය
7 වන සතියේදී,
- ඇස් ඇතිවන ස්ථාන පැහැදිලි වේ
- ඇහිබැමි සහ ඇස් ආවරණය වන කොටස් නිර්මාණය වෙයි
- නාසයේ සිදුරු ඇතිවන ස්ථාන දිස්වෙයි
- මුඛය සහ දිව වර්ධනය වේ
- කන් ඇතිවන ස්ථානද හඳුනාගත හැකිය
මෙම වෙනස්කම් තවමත් ඉතා කුඩා වුවද, ඉදිරියේදී බිළිඳාගේ මුහුණ නිර්මාණය වීමට මූලික පදනම සකස් කරයි.
අත් සහ පාද
අත් සහ පාද දැන් දිගින් වැඩි වෙමින් පවතී. වැලමිට වෙන්වෙයි. මණික් කටුව සෑදීමට පටන් ගනී. ඇඟිලි අතර තිබූ පටල ක්‍රමයෙන් අඩුවෙමින් වෙන වෙනම ඇඟිලි සෑදීමට ආරම්භ වේ.
අභ්‍යන්තර අවයව
මෙම සතියේදී අක්මාව, වකුගඩු, ආමාශය, අග්න්‍යාශය, බඩවැල් වේගයෙන් වර්ධනය වෙමින් පවතී. අක්මාව මේ වන විට රතු රුධිර සෛල නිෂ්පාදනයටද දායක වීමට පටන් ගනී.
අස්ථි සහ මාංශ පේශි
කාටිලේජ (Cartilage) පටක නිර්මාණය වන අතර, එය පසුව අස්ථි බවට පත්වේ. මාංශ පේශිද වර්ධනය වීමට ආරම්භ වන බැවින් ඉතා කුඩා චලනයන් ඇතිවිය හැකි වුවද, මවට ඒවා තවමත් දැනෙන්නේ නැත.
අම්මාගේ ශරීරයේ සිදුවන වෙනස්කම්
7 වන සතියේදී ගැබිනි සමයේ ඇති වන සාමාන්‍ය අපහසුතා බොහෝ කාන්තාවන්ට වඩාත් පැහැදිලිව දැනෙයි. බොහෝවිට මෙයට හේතුව වන්නේ සිරුරේ සිදුවන හෝමෝන වෙනස්කම්ය.
- උදෑසන ඇති වන අපහසුතා – මෙය උදෑසන ලෙස හැදින්වුවද දවසේ ඕනෑම වේලාවක ඇතිවිය හැකිය. ඔක්කාරය, වමනය, ආහාර අරුචිය, සුවඳවලට අධික සංවේදී වීම
- අධික වෙහෙස – ප්‍රොජෙස්ටෙරෝන් හෝමෝනය වැඩිවීමත්, දරුවාගේ වර්ධනය සඳහා ශරීරය වැඩිපුර ශක්තිය භාවිත කිරීමත් නිසා නිතර නිදිමත සහ වෙහෙස දැනිය හැකිය.
- පියයුරු වෙනස් වීම – එනම් පියයුරු තද වීම, වේදනාව, විශාල වීම, නහර පැහැදිලිව පෙනීම වැනි ලක්ෂසණ පෙන්නුම් කරන අතරම මේවා ඉදිරියේදී මව්කිරි නිෂ්පාදනය සඳහා ශරීරය සූදානම් වීමේ ප්‍රතිඵලයකි.
- නිතර මුත්‍රා කිරීම – ගර්භාෂය විශාල වීමත්, වකුගඩුවලට වැඩි රුධිර ප්‍රවාහයක් ලැබීමත් නිසා නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය විය හැකිය.
- ආහාර රුචිය වෙනස් වීම – සමහර කාන්තාවන්ට පෙර කැමති ආහාර අප්‍රසන්න විය හැකිය. ඇතැම් කාන්තාවන්ට අසාමාන්‍ය ආහාරවලට කැමැත්තක් ඇතිවිය හැකිය. උදාහරණ ලෙස මැටි, හුණු, සබන් වැනි ආහාර නොවන දේවල් කෑමට ආශාවක් ඇතිවන්නේ නම් (Pica), වහාම වෛද්‍යවරයෙකුට දැනුම් දිය යුතුය.
- මනෝභාවයේ වෙනස්කම් – හෝමෝන වෙනස්කම් නිසා සතුට කනස්සල්ල කෝපය අඬන්න හිතීම වැනි හැඟීම් ඉක්මනින් වෙනස් විය හැකිය.
- ගර්භාෂයේ වෙනස්කම් – ගර්භාෂය තවදුරටත් විශාල වෙමින් පවතින නමුත්, බොහෝ මව්වරුන්ගේ උදරය තවමත් පැහැදිලිව විශාල වී නොතිබිය හැකිය.
අවශ්‍ය පෝෂණය
මෙම සතියේදී නිවැරදි පෝෂණය දරුවාගේ අවයව නිසි ලෙස වර්ධනය වීමට ඉතා වැදගත් වේ.
- ෆෝලික් අම්ල විටමිනය – වෛද්‍ය නිර්දේශයට අනුව ෆෝලික් අම්ල විටමිනය නිසි මාත්‍රාව ලබාගන්න. නිවිති, මුකුණුවැන්න, බෝංචි, පරිප්පු, කඩල, දොඩම් හරහා ද ෆෝලික් අම්ල විටමිනය හිමිවන බව පැවසෙනවා. නමුත් වෛද්‍ය නිර්දේශයට අනුව නියමිත මාත්‍රාව ලබා ගැනිම වඩාත් වැදගත් වෙන බව අමතක නොකල යුතුයි.
- ප්‍රෝටීන – දරුවාගේ සෛල හා පටක නිර්මාණයට අවශ්‍ය වේ. බිත්තර, මාළු, කුකුල් මස්, පරිප්පු, කඩල, කිරි
- යකඩ – රුධිර හිඟය වැළැක්වීමට සහ දරුවාට ඔක්සිජන් ප්‍රවාහනයට වැදගත්ය. නිවිති, බීට්, රතු මස් (හොඳින් පිසූ), පරිප්පුවැනි ආහාරවල අන්තර්ගතය. විටමින් C සමඟ ලබා ගැනීම යකඩ අවශෝෂණය වැඩි කරයි.
- කැල්සියම් – බිළිඳාගේ අස්ථි සහ දත් වර්ධනයට අවශ්‍ය වේ. කිරි, යෝගට්, චීස්, තලවල අන්තර්ගතය.
- ජලය – දිනකට අවම වශයෙන් ලීටර් 2–3 පමණ ජලය පානය කිරීම විජලනය වැඝැක්වීම, මලබද්ධය අඩු කිරීම, ශරීර උෂ්ණත්වය පාලනයට උපකාරී වීම වැනි ප්‍රතිලාභ හිමිකර දෙයි.
ගැබිනි මවට සෞඛ්‍ය උපදෙස්
- පළමු ගර්භණී සායනයට සහභාගී වන්න – ඔබ තවමත් ගර්භණී සායනයට ලියාපදිංචි වී නොමැති නම්, සති අටට පෙර හැකි ඉක්මනින් ඒ සඳහා යොමු වන්න. මුල් පරීක්ෂණ, රුධිර පරීක්ෂණ, මුත්‍රා පරීක්ෂණ සහ අවශ්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්ය.
- වෛද්‍ය උපදෙස් නොමැතිව ඖෂධ භාවිත නොකරන්න – වේදනා නාශක, ප්‍රතිජීවක හෝ ඖෂධීය පැළෑටි ඇතුළු කිසිදු ඖෂධයක් වෛද්‍ය උපදෙස් නොමැතිව භාවිත කිරීමෙන් වළකින්න.
- දුම්පානය සහ මත්පැන් සම්පූර්ණයෙන්ම වළකින්න – මේවා ගර්භයේ දරුවාගේ වර්ධනයට හානි කළ හැකි අතර අඩු උපත් බර සහ වෙනත් සංකූලතා ඇතිවීමේ අවදානම වැඩි කරයි.
- කැෆේන් සීමා කරන්න – දිනකට කැෆේන් ප්‍රමාණය මිලිග්‍රෑම් 200ට අඩු ලෙස තබා ගැනීම සුදුසුය. කෝපි, තේ, ශක්තිජනක පාන සහ චොකලට් වල කැෆේන් අඩංගු බව මතක තබා ගන්න.
- ප්‍රමාණවත් විවේකය ලබා ගන්න – දිනකට පැය 7 – 9ක් පමණ නින්ද ලබා ගැනීමට උත්සාහ කරන්න. දිවා කාලයේදීද අවශ්‍ය නම් කෙටි විවේකයක් ගන්න.
- සැහැල්ලු ව්‍යායාම – වෛද්‍යවරයාගේ අනුමැතිය ඇතිව සෙමින් ඇවිදීම ගර්භණී යෝග සැහැල්ලු දිගහැරීම් වැනි ව්‍යායාම් සිදු කළ හැකිය.
ප්‍රායෝගික මඟපෙන්වීම්
- දිනපතා ගැබ්ණී විටමින් නියමිත වේලාවට ගන්න.
- කුඩා ප්‍රමාණවලින් නිතර ආහාර ගන්න.
- උදෑසන නැගිටීමට පෙර බිස්කට් හෝ ටෝස්ට් කැබැල්ලක් ආහාරයට ගැනීමෙන් ඔක්කාරය අඩු විය හැකිය.
- දිගු වේලාවක් කුසගින්නේ නොසිටින්න.
- අධික තෙල් සහිත, සැර සහ අමු ආහාර සීමා කරන්න.
- හොඳින් පිසූ ආහාර පමණක් ලබා ගන්න.
- සුරතලයට ඇති කරන බලලුන් වැනි සතුන්ගේ මල පිරිසිදු කිරීම වැනි ටොක්සොප්ලාස්මෝසිස් අවදානම ඇති කාර්යයන් හැකිනම් වෙනත් අයෙකුට භාර දෙන්න.
- අත් නිතර සෝදා පෞද්ගලික සනීපාරක්ෂාව පිළිපදින්න.
- අධික මානසික ආතතිය අවම කර ගැනීමට පවුලේ සහයෝගය ලබා ගන්න.
වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු අවස්ථා
පහත ලක්ෂණවලින් එකක් හෝ ඇත්නම් ප්‍රමාද නොවී වෛද්‍යවරයෙකු හෝ ළඟම ඇති රෝහල වෙත යන්න.
- අධික යෝනි රුධිර වහනය
- දැඩි උදර වේදනාව හෝ එක් පැත්තක තද වේදනාව
- අධික වමනය නිසා කිසිදු ආහාරයක් හෝ ජලය තබාගත නොහැකි වීම
- උණ (38°C හෝ ඊට වැඩි)
- දැඩි කරකැවිල්ල හෝ සිහි නැති වීම
- දුර්ගන්ධයක් සහිත යෝනි ශ්‍රාවය
- මුත්‍රා කිරීමේදී දැඩි වේදනාව හෝ දැවිල්ල
7 වන සතියේ මතක තබා ගත යුතු වැදගත් කරුණු
ගැබිනි සමයේ 7 වන සතිය යනු ඔබේ දරුවාගේ මොළය, හදවත, මුහුණ, අත්, පාද සහ අභ්‍යන්තර අවයව ඉතා වේගයෙන් වර්ධනය වන සංවේදී අවධියකි. මේ අවස්ථාවේදී නිසි පෝෂණය, ෆෝලික් අම්ල විටමිනය සහ වෛද්‍ය උපදෙස් අනුව ලබාදෙන විටමින් නිසි පරිදි ලබා ගැනීම, ප්‍රමාණවත් ජලය පානය කිරීම, විවේකය සහ නිතිපතා ප්‍රසව සායන පරීක්ෂණ සඳහා සහභාගී වීම බිළිඳාගේ සෞඛ්‍ය සම්පන්න වර්ධනය සඳහා ඉතා වැදගත් වේ.
මතක තබා ගන්න, ගැබිනි සමයේ අත්දැකිම් මවකගෙන් මවකට වෙනස් විය හැකියි. ඔබ අත්විඳින රෝග ලක්ෂණ වෙනත් මවකගේ අත්දැකීම්වලට සමාන නොවිය හැකිය. ඔබට කිසියම් සැකයක් හෝ අසාමාන්‍ය රෝග ලක්ෂණයක් ඇති වුවහොත්, ස්වයං ප්‍රතිකාර කිරීමට උත්සාහ නොකර වහාම සුදුසුකලත් ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු හෝ පවුල් සෞඛ්‍ය සේවා සපයන්නෙකුගේ උපදෙස් ලබා ගැනීම ඔබේත්, ඔබේ කුස තුල වැඩෙන බිළිඳාගේත් ආරක්ෂාව සඳහා හොඳම පියවර වේ.

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය
(හෙද විද්‍යාවේදි – ගෞරව, සෞඛ්‍ය සේවා කළමනාකරණ – ගෞරව, බාහිර දේශක සහ ලේඛිකා)
සුතිකා පුහුණු අධිශ්‍රේණි හෙද නිලධාරිනි
නව ඡන්ම ළදරු දැඩි සත්කාර ඒකකය
ශික්ෂණ රෝහල, කුරුණැගල
මෙම ලිපිය සාමාන්‍ය දැනුවත් කිරීම සඳහා පමණි. ඔබට ගැබිනි සමය සම්බන්ධයෙන් ඕනෑම ගැටලුවක් හෝ සැකයක් ඇත්නම්, ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකුගේ හෝ සුදුසුකම් ලත් සෞඛ්‍ය වෘත්තිකයෙකුගේ සේවය ලබාගන්න.


Leave feedback about this