අගෝස්තු 26, 2026
දරුවන්ගේ සුව දිවිය සුව දිවිය

මත්පැන් ගැන යොවුන් දරුවා දැනුවත් කරන්නේ කොහොමද ?

අද වෙන විට යොවුන් දරුවන් පවා මත්රකුසාට ගොදුරුව ඇති බව නිරන්තරයෙන් අසන්නට ලැබෙනවා. අන්න ඒ නිසාම මගේ දරුවා තාම පොඩියි…. එයාට මේ ගැන කියන්න තව කල් තියෙනවා කියලා මව්පියන් සිතනවා නම් එය එතරම්ම හොද අදහසක් නොවේ. ඒ යොවුන් වියට පැමිණෙන දරුවන්ට මත්පැන් පිළිබඳ තොරතුරු අන්තර්ජාලයෙන්, මිතුරන්ගෙන්, සමාජ මාධ්‍යයෙන්, චිත්‍රපට හා ටෙලිනාට්‍යවලින් හෝ වැඩිහිටියන්ගේ හැසිරීම්වලින් දැනගන්නට ලැබෙන නිසාය. ඒ නිසා මත්පැන් ගැන දරුවාට මුලින්ම නිවැරදි තොරතුරු ලබාදිය යුත්තේ දරුවන්ගේ සමිපතමයන් මව්පියන් වන අප විසින්මය. ඒ වගකීම අප සතුය. මෙහි අරමුණ දරුවා බියගැන්වීම නොව මත්පැන් පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාදී, අහිතකර තීරණවලින් තමන්ව ආරක්ෂා කරගැනීමට අවශ්‍ය දැනුම හා කුසලතා ලබාදීමයි.

යොවුන් විය වන විටත් දරුවන්ගේ මොළය වර්ධනය වෙමින් පවතිනවා. විශේෂයෙන් තීරණ ගැනීම, ආවේග පාලනය සහ අවදානම් තක්සේරු කිරීම වැනි හැකියාවන් තවදුරටත් වර්ධනය වන අවධියක් තමයි යොවුන් විය. ඒ නිසා මත්පැන් භාවිතය ඔවුන්ට වැඩි අවදානම් ඇති කළ හැකියි. එමෙන්ම ශ්‍රී ලංකාවේ නීතිය අනුවත් දරුවන්ට මත්පැන් ලබාදීම හෝ ඔවුන් මත්පැන් භාවිතයට යොමු කිරීම සම්බන්ධයෙන් දෙමාපියන් අවධානයෙන් සිටිය යුතුයි.

දරුවා සමඟ මේ ගැන කතා කරන්නේ කොහොමද?

  • මත්පැන් බොන්න එපා! කියලා පමණක් කියන්න එපා

තහනම් කිරීම පමණක් කළාම සමහර දරුවන්ට, ඇයි එපා කියන්නේ? කියන ප්‍රශ්නය ඇතිවෙන්න පුළුවන්. ඒ වෙනුවට හේතුව පැහැදිලි කරන්න. උදාහරණයක් ලෙස මත්පැන් ගැන ඔයාට නිවැරදි තොරතුරු තියෙන්න ඕනේ. කවුරුහරි ඔයාට කවදාහරි ඒක ලබාදෙන්න උත්සාහ කළොත්, ඔයාට හොඳ තීරණයක් ගන්න පුළුවන් වෙන්න තමයි මම මේ ගැන ඔයා එක්ක කතා කරන්නේ මේ ආකාරයට කතා කළ විට දරුවාට දැනෙන්නේ ඔබ ඔහු/ඇයව පාලනය කිරීමට නොව ආරක්ෂා කිරීමට කතා කරන බවයි.

  • දරුවාගේ අදහසත් අහන්න

මේ සංවාදය දේශනයක් බවට පත් නොකරන්න. ඔයා මත්පැන් ගැන මොනවාද දන්නේ? ඔයාගේ පාසලේ හෝ මිතුරන් අතර මේ ගැන කතා වෙනවද? මත්පැන් ගැන සමාජ මාධ්‍යවල ඔයා දැකලා තියෙන දේවල් මොනවාද? වැනි ප්‍රශ්න අහන්න. දරුවා කතා කරන විට මැදින් නවත්වන්න එපා. ඔහු/ඇය කියන දේ ඔබට අමුතු හෝ වැරදි දෙයක් ලෙස පෙනුණත්, මුලින් සවන් දෙන්න. එවිට දරුවාට ඉදිරියේදීත් ඔබ සමඟ සංවේදී කරුණු කතා කිරීමට පහසු වේ.

  • මිතුරන්ගේ බලපෑම ගැන කතා කරන්න

යොවුන් දරුවන්ට සමහර අවස්ථාවලදී මිතුරන්ගෙන් විශාල බලපෑමක් ඇතිවෙන්න පුළුවන්. එක පාරක් විතරයි. හැමෝම බොනවා. බය නැත්නම් බොන්න. වැනි වචන භාවිතා කරමින් කෙනෙකුට බලපෑම් කළ හැකියි. ඒ නිසා දරුවාට නැහැ/බැහැ කියන්න පුළුවන් වීම දුර්වලකමක් නොවන බව කියාදෙන්න.

උදාහරණයක් ලෙස නෑ, මම ඒක කරන්නේ නැහැ. මට ඒක අවශ්‍ය නැහැ. මම යනවා. වැනි සරල පිළිතුරක් ලබාදී එම ස්ථානයෙන් ඉවත්වීමට හැකියාව තිබිය යුතුයි.

  • සමාජ මාධ්‍යවල පෙනෙන දේවල් ගැන කතා කරන්න

සමාජ මාධ්‍යවල ඇතැම්විට මත්පැන් භාවිතය විනෝදය, ජනප්‍රියත්වය හෝ “cool” ජීවන රටාවක් ලෙස පෙන්විය හැකියි. සමාජ මාධ්‍ය පෙන්වන සෑම දෙයක්ම සම්පූර්ණ යථාර්ථය නොවන බව දරුවාට තේරුම් කර දෙන්න. වෙළඳ දැන්වීම්, influencers සහ විනෝදාස්වාද වැඩසටහන්වල පෙන්වන ආකාරය හා මත්පැන් භාවිතයේ සැබෑ අවදානම් අතර විශාල වෙනසක් තිබිය හැකියි. දරුවා සමඟ එකට දැක ඇති content ගැන කතා කිරීමත් හොඳ ආරම්භයක්.

  • මත්පැන් බොන අය නරක මිනිස්සු” කියලා කියන්න එපා

මෙය ඉතා වැදගත්. මත්පැන් භාවිතය පිළිබඳව කතා කරන විට පුද්ගලයන්ව අපහාස කිරීම හෝ ලේබල් කිරීම වෙනුවට හැසිරීමේ අවදානම ගැන කතා කරන්න. එවිට දරුවාට යම් දිනක මත්පැන් සම්බන්ධ ගැටලුවකට මුහුණ දීමට සිදුවුණත්, එය දෙමාපියන්ගෙන් සඟවාගෙන සිටීමට වඩා උපකාර ඉල්ලීමට පහසු වේ.

  • ඔයාට මේ වගේ දෙයක් වුණොත් මට කියන්න

දරුවාට ඉතා පැහැදිලි පණිවිඩයක් දෙන්න. ඔයා කොහේ හිටියත්, කවුරුත් එක්ක හිටියත්, ඔයාට අපහසු හෝ අනාරක්ෂිත තත්ත්වයක් ඇති වුණොත් මට කියන්න පුළුවන්. ඒ වගේම, මට කියපු නිසා පළමුවෙන්ම ඔයාට බැනලා හෝ දඬුවම් කරන්නේ නැහැ. මුලින්ම ඔයාව ආරක්ෂිත කරගන්න එක තමයි වැදගත් වැනි පණිවිඩයක් ලබාදීම ඉතා වැදගත්.

  • නිවසේදී දෙමාපියන්ගේ ආදර්ශය

දරුවන් අපි කියන දේ පමණක් නොව, අපි කරන දේත් නිරීක්ෂණය කරනවා. ඒ නිසා මත්පැන් පිළිබඳව දරුවා සමඟ කතා කරන විට දෙමාපියන්ගේම හැසිරීම ගැනත් අවධානය යොමු කිරීම වැදගත්. විශේෂයෙන් මත්පැන් භාවිතය විහිළුවක් ලෙස හෝ වැඩිහිටියෙක් වුණාම අනිවාර්යයෙන්ම කරන දෙයක් ලෙස දරුවා ඉදිරියේ සාමාන්‍යකරණය නොකිරීම වැදගත්.

  • දරුවාගේ වෙනස්කම් පිළිබඳව අවධානයෙන් සිටින්න

දරුවාගේ හැසිරීමේ විශාල වෙනස්කම් ඇති වුණොත් ඒවා නොසලකා හරින්න එපා. උදාහරණ ලෙස පාසල් වැඩවල හදිසි වෙනස්කම්, මිතුරන් පිළිබඳ තොරතුරු සම්පූර්ණයෙන්ම සඟවා ගැනීම, පවුලේ අයගෙන් දැඩි ලෙස වෙන්ව සිටීම, නිතරම රහස්‍ය හැසිරීම, මුදල් සම්බන්ධ අසාමාන්‍ය ගැටලු, නිතර වෙනස් වන මනෝභාවයන්, දෛනික වගකීම් නොසලකා හැරීම වැනි වෙනස්කම් ඇතිවුවහොත් එක් ලක්ෂණයක් පමණක් මත නිගමනයකට නොපැමිණ, දරුවා සමඟ සාමකාමීව කතා කරන්න. මෙවැනි වෙනස්කම්වලට වෙනත් බොහෝ හේතු තිබිය හැකියි.

  • බියගන්වමින් හෝ අපහාස කරමින් දරුවා පාලනය කරන්න එපා

ඔයා මෙහෙම කළොත් මම ඔයාව ගෙදරින් එළියට දානවා. ඔයාට කිසිම වගකීමක් නැහැ. ඔයා විනාශ වෙලා යනවා. වැනි වචන භාවිතා කිරීමෙන් දරුවා තොරතුරු සඟවා ගැනීමට ඉඩ තිබෙනවා.

ඒ වෙනුවට මේ ගැන මට කියන්න පුළුවන්. අපි එකට විසඳුමක් හොයමු යන ආකාරයේ විශ්වාසදායක පරිසරයක් ගොඩනගන්න.

  • එකම සංවාදයකින් සියල්ල අවසන් කරන්න එපා

මත්පැන් ගැන කතා කිරීම එක් දවසක කරන විශාල දේශනයක් විය යුතු නැහැ. දරුවාගේ වයස සහ අවබෝධය අනුව කාලයත් සමඟ කෙටි සංවාද කිහිපයක් කරන්න. උදාහරණයක් ලෙස පළමු අවස්ථාව,

  1.  මත්පැන් කියන්නේ මොනවාද?
  2. එය ශරීරයට හා මොළයට බලපාන්නේ කොහොමද?
  3. මිතුරන්ගෙන් බලපෑම් ආවොත්?
  4. අනාරක්ෂිත තත්ත්වයකට පත්වුණොත් කාගෙන් උපකාර ඉල්ලන්නේද?

මේ ආකාරයට ක්‍රමයෙන් කතා කිරීම දරුවාට තොරතුරු තේරුම් ගැනීමට පහසුයි.

දරුවාට මත්පැන් ගැන කතා කිරීමේ අරමුණ දරුවා බියගැන්වීම නොවෙයි. අරමුණ වන්නේ, නිවැරදි තොරතුරු, විවේචනාත්මක සිතීම, නැහැ/බැහැ කියන්න හැකියාව, ආරක්ෂිත තීරණ ගැනීම, දෙමාපියන් සමඟ විවෘත සන්නිවේදනය යන කරුණු දරුවා තුළ වර්ධනය කිරීමයි.

දරුවාට මත්පැන් පිළිබඳව ප්‍රශ්නයක් ඇති වූ විට අන්තර්ජාලයෙන් හෝ මිතුරෙකුගෙන් පමණක් නොව, අම්මා/තාත්තාගෙනුත් අහන්න පුළුවන් කියන විශ්වාසය ඇති කිරීම තමයි දෙමාපියන්ට කළ හැකි හොඳම ආරක්ෂාවක්. දරුවා සමඟ කතා කිරීම ප්‍රමාද කරන්න එපා. නමුත් කතා කරන විදිහත් ඒ තරමටම වැදගත්.

Leave feedback about this

  • Quality
https://nusantarabola.id/