ජූලි 14, 2026
සුව දිවිය

රෝග සුව කරන්න, සංගීතය මෙතරම් උදව්වක් බව සිතුවාද?

සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. විනෝදය වෙනුවෙන් සංගීතය අපේ ජීවිතයට සම්බන්ධ වුනත් රෝග චිකිත්සාවක් වශයෙන් සංගීතය වැදගත් මෙහෙවරක් ඉටු කරන බව ඇතැම් විට ඔබ නොදන්නවා විය හැකියි.

සංගීතය, චිකිත්සාවක් වෙන්නේ කොහොමද….?

සංගීතය නිසා සිත සුවපත් වීම වගේම ආධ්‍යාත්මය අවදි කිරීමක් සමග අපේ භාවයන් විශෝධනය නරමින් රෝග සුව කිරීමේ හැකියාව අපට ඇති වෙන බැව් අමතක නොකළ යුතුයි. පුරාණ රෝම ශිෂ්ටාචාරයේදී මෙන්ම ඉන්දියානු යෝගීන් සංගීතය චිකිත්සාවක් ලෙසින් යොදා ගෙන රෝග සුව කළ බවට වාර්තාවන් තිබේ.

පසුගිය දශක දෙකක කාලයක් පුරාම පර්යේෂකයන් විසින් ගායනය සහ සෞඛ්‍ය අතර පවත්නා අන්තර් සම්බන්ධතාවය පිළිබඳව විවිධ අධ්‍යයනයන් සිදු කරනු ලැබුවා. ඒ අනුව පුද්ගලයෙකුගේ මානසික, ජීව විද්‍යාත්මක සහ චර්යාත්මක යාන්ත්‍රණයන් පිළිබඳව තෙරතුරු එක්රැස් කිරීමට පර්යේෂකයින් දැඩි උනන්දුවක් දක්වා තිබේ.

ලන්ඩන් සරසවියේ මහාචාර්ය ඩේසි ෆැන්කොට් සඳහන් කරන අන්දමට පුද්ගලයෙක් ගීතයක් ගායනා කරන අවස්ථාවකදී මිනිස් සිරුර තුළ විපර්යාසයන් රාශියක් සිදු වෙයි. සාමාන්‍යයෙන් වෙහෙසකර හෝමෝනය ලෙසින් සැලකෙන කෝටිසෝල් සිරුර තුළ දිගු කාලීනව පැවතීම එතරම් සුබවාදී නැහැ. නමුත් සංගීතය නිසා අපේ මනෝභාවයන්ට බලපාන වෙහෙසකර හෝමෝන මට්ටම සැලකිය යුතු ලෙසින් පහළ බැසීමක් සිදු වෙනවා.

මානසික ආතතිය, කාංසාව සහ මානසික අවපීඩනය වැලැක්වීම සඳහා සංගීතය යොදා ගැනීම සම්බන්ධයෙන් පර්යේෂණයන් සිදු කළ ඇමරිකානු ජාතික ආචාර්ය වින්සන්ට් ගියම්පාසා  (ඇමරිකානු මහලු වීම වැලැක්වීම සඳහා වන ඖෂධ අධිකාරියේ හිටපු සභාපති – The American board of anti aging medicine ) විසින් තෝරාගත් කණ්ඩායමක් වෙනුවෙන් සැහැල්ලු වීමේ සංගීත භාණ්ඩ දිනපතා නිශ්චිත වේලාවක් තුළ ලබා දෙන ලදී. හෙඩ්ෆෝන් ආධාරයෙන් සිදු කරන ලද මෙම පර්යේෂණ දත්ත අනුව එම කණ්ඩායමට සම්බන්ධ පුද්ගලයන්ගේ රුධිරයේ කෝටිසෝල්  සංයුතිය සතුටුදායක අන්දමින් පහළ මට්ටමක පැවැතීම විශේෂයක් විය. මෙම හෝමෝනය දිගු කාලීනව සිරුර තුළ පැවැතීම නිසා මහලු වීම වේගවත් කිරීම, මතකය දුර්වල කිරීම වැනි අහිතකර තත්වයන් ඇති වීමට හේතු විය හැක.

ඒ අතර කෝටිසෝල් හෝමෝනයට එරෙහිව ක්‍රියාකරන DHEL හෝමෝන මටට්ම හදවත් රෝග අවම කිරීමට හේතු වේ. ඒ අතරම සිරුර සන්සුන් කරන සුවදායක නින්දට හේතු වෙන රුධිරයේ මෙලෙටොනින් සංයුතියත් සංගීතය නිසා  ඉහළ ම්ටටමක් දක්වා වර්ධනය වී තිබීම විශේෂයක් විය.

සංගීතය බහු විධ සෞඛ්‍ය ක්‍රියාකාරකමක් වෙන්නේ කොහොමද?

මහාචාර්ය ෆැන්කොට් විසින් ලබා ගත් දත්ත පිළිබඳ විශ්ලේෂණය තව දුරටත් අධ්‍යයනය කරමින් කියා සිටින්නේ ගායනය කියන්නේ බහු විධ සෞඛ්‍ය ක්‍රියාකාරකමක් බවත් එය අංශ කීපයකින් යුක්ත බවත්ය. ගායනය තුළ සංවේදී ප්‍රකාශයන් ක්‍රියාත්මක වෙනවා. එය මානසික සෞඛ්‍යට යහපත් ලෙසින් බලපානවා. යහපත් ගායනය නිසාම සමාජයීය අන්තර් ක්‍රියාකාරකම් යහපත් අන්දමින් සිදු වෙන බැව් ඇගේ අදහස වී තිබෙනවා. ඒ නිසා සංගීතයට සවන් දීම යනු ඉතාම පහසුවෙන් සෞඛ්‍ය ප්‍රතිලාභ අත් කර ගැනීමේ අවස්ථාවක් බව මහාචාර්යවරිය අවධාරණය කර සිටිනවා.

මෙම අධ්‍යයනයට සමගාමීව 2011 වසරේදී එංගලන්තයේ කැන්ටබරි ක්‍රයිස්ට්චර්ච් සරසවිය මගින් ප්‍රකාශිත පර්යේෂණ වාර්තාවක දක්වා ඇති අන්දමට මානසික සහ ශාරීරික සෞඛ්‍ය ගැටලු ඇති පුද්ගලයින්ට ගායනයෙන් වඩාත් සහනයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ අනුව බරපත මානසික ගැටළුවලට පවා සමූහ ගායනයෙන් සැලකිය යුතු ලෙසින් ප්‍රතිලාභ අත් කර ගැනීමේ හැකියාව තිබෙන බැව් පර්යේෂකයන්ගේ අදහස වී තිබේ.

සංගීතය, මනසට හා සිරුරට ඇති කරන සෘජු බලපෑම කුමක්ද?

ගායනය මගින් මනසට සහ සිරුරට සෘජු බලපෑමක් ඇති කරන බැව් ජර්මනියේ කණ්ඩායම් ගායිකාවක ලෙසින් සුවිශේෂී නාමයක් ලබා ඇති ඇනාබෙල් සඳහන් කර තිබෙනවා.

මම ගායනා කරද්දී මට එය දැනෙන්නේ භාවනාවක් වගෙයි….මම සංගීතයට වශි වෙලා. ඒ වෙලාවට මට දැනෙන සහනය වචනයෙන් විස්තර කරන්නත් අපහසුයි. සංගීතය වෙනුවෙන් මට මුළු සිරුරම අවශ්‍යයි. ඒ නිසා මට ව්‍යායාම සැසියක් අමුතුවෙන් අවශ්‍යත් නැහැ…ඒ ඇනාබෙල්ගේ අදහසයි.

එංගලන්තයේ වෙල්ටන්හැම්හි වෛද්‍යවරයෙකු වන සයිමන් ඕෆර් සඳහන් කරන්නේ අපි ගීතයක් ගායනා කරන විට මොළයේ සමහර තැන්වලට රුධිරය වැඩියෙන් ගලා ගෙන යනවා. සමහර විට මොළයට යහපත් පරිදි රුධිරය නොලැබීම නිසා සිදුවෙන ඩිමෙන්ෂියා වැනි රෝග තත්වයට සංගීත චිකිත්සාව ඉතාම යහපත් අන්දමින් ප්‍රතිචාර දක්වනවා. කොටින්ම මෙම ගීතවලට සවන් දීම නිසා යම් ප්‍රබෝධයක් මෙම රෝගීන් තුළ ඇති වෙනවා.

සංගීතය, හෝමෝන ක්‍රියාකාරිත්වය බලපාන්නේ කොහොමද?

අපේ ජීවිතයේදී සතුටට හේතු වෙන ක්‍රියාකාරකම් නිසා  එන්ඩොෆින් (endorphins) මුදා හරිනවා. අපේ මනස තුළ සතුට ඇති කිරීමට endorphins හෝමෝනය හේතු වෙනවා. අපි ගායනයක යෙදෙන විට ගැඹුරු ලෙසින් ශ්වසනය කිරීමට සිදු වෙන අතරම ඒ නිසාම සිරුර පුරා රුධිර සංසරණය ඉතා යහපත් අන්දමින් සිදු වෙනවා. මිනිත්තු 40 ක කාලයක් සමූහ ගායනයක නිරත වෙන විට කෝටිසෝල් නැමැති මානසික ආතතියට හේතු වෙන හෝමෝන මට්ටම ඉතා සිඝ්‍රයෙන් පහළ බැසීමක් සිදු වෙනවා.

මේ නිසා එක්සත් රාජධානියේ මයින්ඩ් සෙන්ග් නැමැති පුණ්‍යායතනය විසින් වැඩිහිටි නිවාසයන් වෙත විවිධ ගායක කණ්ඩායම් යවමින් ඔවුන් සමග ගීත ගායනා කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ වියපත් පුද්ගලයන්ගේ මානසික සතුට ඔවුන්ගේ ජීවිතයේ සැදෑ කාලයට වඩාත් වැදගත් වන නිසාය.

මයින්ඩ් සෙන්ග් ආයතනය විසින් මෙම සත් කාර්යය පිලිබඳව පසු විපරමේ යෙදෙන අතර එහි සංගීත චිකිත්සක අංශයේ අධ්‍යක්ෂ මැගී ග්‍රේඩ් සඳහන් කරන්නේ අපේ සංගීත කණ්ඩායම් සමග වැඩිහිටියන් ඉතා කිට්ටු සමීපතාවයක් දක්වනවා. ඔවුන් ගීත ගායනා කරනවා. නර්තනයේ යෙදෙනවා. බොහොම සතුටින් මේ කාලය ගෙවනවා. එහි නොපෙනෙන පැත්තක් තිබෙනවා. මේ අන්දමින් සංගීතයට වඩාත් සමීප වුන වැඩිහිටියන් අතර කායික නිරෝගිතාවයන් වඩාත් යහපත් පරිදි ගොඩ නැගී තිබෙනවා. සමහර රෝගීන් අතර වෙනදා පැවැති හුස්ම ගැනීමේ අපහසුතාවයන් පවා දැන් බොහෝ දුරට අඩු වී තිබෙන බවත් ඒ නිසා ඔවුන් මේ වන විට ඇදුම සහ පෙනහලු රෝගීන්ටත් සංගීතය චිකිත්සාවක් විදිහට යොදා ගැනීමට තිබෙන හැකියාව ගැන වැඩි දුරටත් අධ්‍යයනයන් සිදු කරන බවත්ය

B.B.C පුවත් ඇසුරිනි

පුන්‍යා චාන්දනි ද සිල්වා

Leave feedback about this

  • Quality