අගෝස්තු 5, 2026
දරුවන්ගේ සුව දිවිය සුව දිවිය

ඔබේ දරුවාට සුදුසුම පෙර පාසල තෝරාගන්නේ කොහොමද?

දරුවෙකුගේ ජීවිතයේ පළමු පාසල් අත්දැකීම වන්නේ පෙරපාසලයි. මේ කාලය තුළ දරුවා අකුරු හඳුනා ගැනීම පමණක් නොව, මිතුරන් සමඟ කටයුතු කිරීම, හැඟීම් පාලනය කිරීම, ස්වාධීන වීම සහ ඉගෙනීමට කැමැත්තක් ඇති කරගැනීම වැනි ජීවිතයට වැදගත් කුසලතා වර්ධනය කරගනී. ඒ නිසා පෙර පාසලක් තෝරා ගැනීමේදී ගෙදරට ළඟයි, ගොඩනැගිල්ල ලස්සනයි, English උගන්වනවා කියන කරුණු පමණක් බලලා තීරණයක් ගන්න එපා.

පෙර පාසලක් තෝරන විට ඔබ අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු.

1. දරුවාගේ ආරක්ෂාවට මුල් තැන – දරුවා වැඩිම කාලයක් ගත කරන ස්ථානයක් නිසා ආරක්ෂාව අනිවාර්යයෙන්ම තිබිය යුතුය.

  • ආරක්ෂිත ගේට්ටු සහ වැට
  • පිරිසිදු පන්ති කාමර
  • ආරක්ෂිත ක්‍රීඩා උපකරණ
  • හදිසි අවස්ථාවල ක්‍රියාමාර්ග (Emergency Plan)
  • ප්‍රථමාධාර පහසුකම්

2. ගුරුවරුන්ගේ සුදුසුකම් සහ හැසිරීම – දරුවාට පෙර පාසල ගැන ඇතිවන හැඟීම බොහෝ දුරට රඳා පවතින්නේ ගුරුවරයා මතයි.

  • ගුරුවරුන්ට Early Childhood Education පිළිබඳ පුහුණුවක් තිබෙනවාද?
  • ඔවුන් දරුවන් සමඟ ආදරයෙන් සහ ගෞරවයෙන් කතා කරනවාද?
  • දරුවන්ට කෑගහනවාද? නැත්නම් දිරිමත් කරනවාද? යන කරුනු අනිවාරයෙන්ම සොයා බලන්න.

උණුසුම්, ආදරණීය සහ ඉවසීමෙන් යුතු ගුරුවරුන් සිටින පෙරපාසලක් දරුවාගේ ආත්ම විශ්වාසය වර්ධනය කිරීමට උපකාරී වේ.

3. ඉගෙනීම ක්‍රීඩාව සමඟ බැඳී තිබිම – අවුරුදු 3 – 5 අතර දරුවන් සෙල්ලම් කරමින් ඉගෙන ගන්නවා. හොඳ පෙර පාසලක කතන්දර, සින්දු, චිත්‍ර ඇඳීම, වැලි සහ ජල ක්‍රීඩා, නිර්මාණාත්මක ක්‍රියාකාරකම්, එළිමහන් ක්‍රීඩා වැනි ක්‍රියාකාරකම්වලට ප්‍රමුඛත්වය දෙනවා. හැම වෙලාවෙම අකුරු ලියවීම හෝ වැඩ පත්‍රිකා පිරවීම පමණක් කරන පෙර පාසලක්, කුඩා දරුවන්ගේ වයසට සුදුසු ඉගෙනුම් ක්‍රමයක් නොවිය හැකිය.

4. එක් ගුරුවරයෙකුට සිටින දරුවන් ගනන – පන්තියේ දරුවන් ඉතා වැඩි නම්, එක් එක් දරුවාට අවශ්‍ය අවධානය ලැබෙන්නේ අඩුවෙනවා. කුඩා කණ්ඩායම්වල ඉගෙනීම දරුවාගේ සංවර්ධනයට වඩා හිතකරයි.

5. දෙමාපියන් සමඟ සන්නිවේදනය – හොඳ Preschool එකක්, දරුවාගේ දෛනික ක්‍රියාකාරකම්, හැසිරීම, ඉගෙනීමේ ප්‍රගතිය, විශේෂ සිදුවීම් පිළිබඳව දෙමාපියන්ට නිරන්තරයෙන් දැනුම් දෙයි.

6. දරුවාගේ සතුට – මෙය වැදගත්ම ප්‍රශ්නයයි. පෙර පාසල එක බලන්න ගිය විට එහි,

  • දරුවන් හිනා වෙනවාද?
  • ඔවුන් නිදහසේ ක්‍රීඩා කරනවාද?
  • ගුරුවරුන් සමඟ සතුටින් කතා කරනවාද? යන දේ නිරීක්ෂණය කරන්න.

7. ඔබට පෙර පාසල බලන්න ඉඩ දෙනවාද?

හොඳ පෙර පාසලක් තම පරිසරය දෙමාපියන්ට පෙන්වීමට කැමති වෙයි. ඔබට,

  • පන්ති කාමර
  • ක්‍රීඩා ප්‍රදේශ
  • වැසිකිළි
  • ආරක්ෂක ක්‍රම බැලීමට අවස්ථාව ලබාදෙනවාදැයි බලන්න.

8. “English Medium” කියන එක විතරක්ම බලන්න එපා

බොහෝ දෙමාපියන් English Medium පෙර පාසලක් සොයනවා. නමුත් පර්යේෂණ පෙන්වන්නේ, කුඩා දරුවන්ට තම මව්භාෂාවෙන් සන්නිවේදනය සහ සංකල්ප ගොඩනඟා ගැනීමට අවස්ථාව ලැබීම ඉතා වැදගත් බවයි. දරුවාට ආරක්ෂිත, ආදරණීය සහ උත්තේජක පරිසරයක් ලැබීම, භාෂාවකට වඩා මුල් අවධියේ වැදගත් වේ.

පෙර පාසලක් එකක් තෝරාගන්න කලින් සොයා බැලිය හැකි කරුනු

  • ගුරුවරුන්ගේ සුදුසුකම් මොනවාද?
  • එක් පන්තියක දරුවන් කී දෙනෙක් ඉන්නවාද?
  • දරුවා අසනීප වුණොත් මොකද කරන්නේ?
  • ආරක්ෂක කැමරා (CCTV) තිබෙනවාද?
  • දෛනික වැඩසටහන මොකක්ද?
  • එළිමහන් ක්‍රීඩා සඳහා දිනපතා කාලය වෙන් කරනවාද?
  • දරුවන්ගේ ප්‍රගතිය දෙමාපියන්ට දැනුම් දෙන්නේ කොහොමද?

හොඳ පෙර පාසලක් යනු වැඩිපුර ඉගැනුම් කරන, ඉක්මනින් අකුරු කියා දෙන තැන නොව,

  • දරුවාට ආරක්ෂාව සැලසෙන
  • සෙල්ලම් කරමින් ඉගෙන ගන්න
  • ප්‍රශ්න අහන්න බය නැති
  • මිතුරන් ඇති කරගන්න
  • සතුටින් හෙටත් යන්න කැමති වන පරිසරයක් ඇති තැනකි.

දරුවාගේ මුල්ම පාසල් අත්දැකීම, ඔහුගේ හෝ ඇයගේ අනාගත ඉගෙනුම් ආකල්පයට විශාල බලපෑමක් ඇති කළ හැකි නිසා, පෙර පාසලක් තෝරා ගැනීමේදී කාලය ගෙන, හොඳින් සොයා බලා තීරණය කරන්න.

අනිවාර්යයෙන්ම එම ආයතනයට ගොස් පරිසරය නිරීක්ෂණය කරන්න, ගුරුවරුන් සමඟ කතා කරන්න සහ හැකි නම් වෙනත් දෙමාපියන්ගේ අත්දැකීම්ද විමසන්න. හොඳම පෙර පාසල යනු අලංකාරම ගොඩනැගිල්ල ඇති තැන නොව, දරුවා ආරක්ෂිතව, ආදරයෙන් සහ සතුටින් ඉගෙන ගන්නා තැනයි.

මූලාශ්‍ර (Sources)

1. UNICEF – Early Childhood Development

   [https://www.unicef.org/early-childhood-development](https://www.unicef.org/early-childhood-development)

2. World Health Organization – Nurturing Care for Early Childhood Development

   [https://www.who.int/teams/maternal-newborn-child-adolescent-health-and-ageing/child-health/nurturing-care](https://www.who.int/teams/maternal-newborn-child-adolescent-health-and-ageing/child-health/nurturing-care)

3. Harvard University Center on the Developing Child – Early Childhood Development Resources

   [https://developingchild.harvard.edu](https://developingchild.harvard.edu)

4. National Association for the Education of Young Children – Choosing a Preschool

   [https://www.naeyc.org](https://www.naeyc.org)

5. UNESCO – Early Childhood Care and Education

   [https://www.unesco.org/en/early-childhood-care-and-education](https://www.unesco.org/en/early-childhood-care-and-education)

Leave feedback about this

  • Quality