ජූලි 27, 2026
දරුවන්ගේ සුව දිවිය

උපතේ සිට පළමු මාසය,පුංචි ජීවිතයක් ලෝකයට හුරු වන පළමු දින 30

දරුවෙකුගේ උපත කියන්නේ පවුලකට ලැබෙන අතිශය සතුටුදායක අත්දැකීමක්. නමුත් ඒ සමඟම නව දෙමාපියන්ට ප්‍රශ්න රැසක් ඇතිවන කාලයක්ද මෙයයි.

“මගේ දරුවා හොඳින් වැඩෙනවාද?”

“දරුවා මෙතරම් නිදාගන්න එක සාමාන්‍යද?”

“දරුවා මේ තරම් හඬන්නේ ඇයි”

“මම දරුවා නිවැරදිව රැකබලා ගන්නවාද?”

සෑම අලුත් අම්මෙක්ට තාත්තෙක්ටම මෙහෙම හිතෙන එක අසාමානය නැහැ.

උපතෙන් පසු පළමු මාසය කියන්නේ දරුවා අලුත් ලෝකයට හුරු වන කාලයයි. මෙම කාලය තුළ දරුවාගේ ශරීරය, මොළය, ඉන්ද්‍රියයන් සහ දෙමාපියන් සමඟ ඇති බැඳීම වේගයෙන් වර්ධනය වෙනවා.

1. පළමු මාසයේ දරුවාගේ ශාරීරික වර්ධනය

උපතෙන් පසු පළමු දින කිහිපයේදී බොහෝ දරුවන්ගේ බර සුළු වශයෙන් අඩු විය හැකියි. එය සාමාන්‍ය ක්‍රියාවලියක් වන අතර, පසුව නැවත බර වැඩි වීමට පටන් ගනී.

පළමු මාසය තුළ

  • දරුවාගේ අත් පා බොහෝවිට නැමී ඇති ආකාරයෙන් පෙනිය හැකියි.
  • අත මිට මොළවා තබා ගැනීම සාමාන්‍ය දෙයකි.
  • බෙල්ලේ මාංශ පේශී තවමත් ශක්තිමත් නොවන නිසා හිසට ආධාර අවශ්‍ය වේ.
  • දරුවාගේ චලනයන් තවමත් ස්වයංක්‍රීය ප්‍රතික්‍රියා (reflexes) මත පදනම් වේ.

මෙම කාලයේ දරුවාට ඉතා මෘදු ආරක්ෂාවක් සහ සමීප රැකවරණයක් අවශ්‍ය වේ.

2. මොළයේ සහ සංවේදී වර්ධනය

උපතේ සිටම දරුවාගේ මොළය ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතී.

පළමු මාසයේදී දරුවා

  • ශබ්දවලට ප්‍රතිචාර දක්වයි
  • විශේෂයෙන්ම මවගේ හඬ දරුවාට හුරුපුරුදු බවක් දැනේ.
  • ආලෝකය සහ චලනයන් නිරීක්ෂණය කරයි
  • දරුවාගේ පෙනීම තවමත් සම්පූර්ණයෙන් වර්ධනය වී නැති නමුත් මුහුණක් දෙස බලන්න උනන්දු විය හැකියි.
  • සුවඳ හඳුනා ගැනීමට හැකියාව ඇත. මවගේ සුවඳ දරුවාට හුරුපුරුදු විය හැකිය.
  • ස්පර්ශයට ප්‍රතිචාර දක්වයි. ආදරණීය ස්පර්ශය දරුවාට ආරක්ෂාව සහ සැනසීම ලබා දෙයි.

3. පෝෂණය – මව්කිරි වල වැදගත්කම

පළමු මාසයේ දරුවාගේ ප්‍රධාන ආහාරය මව්කිරි වේ.

මව්කිරි

  • දරුවාගේ වර්ධනයට අවශ්‍ය පෝෂක ලබා දෙයි.
  • දරුවාගේ ප්‍රතිශක්තියට උපකාරී වේ.
  • මව සහ දරුවා අතර බැඳීම ශක්තිමත් කරයි.

බොහෝ දරුවන්ට මෙම කාලයේදී නිතර මව්කිරි අවශ්‍ය විය හැකියි. සෑම දරුවෙකුගේම අවශ්‍යතාව වෙනස් විය හැකි බැවින්, දරුවාගේ සංඥා හඳුනා ගැනීම වැදගත් වේ.

4. දරුවාගේ නින්ද

අලුත උපන් දරුවන් දවසේ වැඩි කාලයක් නිදා ගන්නා බව සාමාන්‍යයි.

පළමු මාසයේදී

  • නින්ද කෙටි කාල පරාසවලින් සිදුවිය හැකියි.
  • දරුවා රාත්‍රියේ නිතර අවදි විය හැකියි.
  • දිවා රාත්‍රී වෙනස තවමත් සම්පූර්ණයෙන් හඳුනාගෙන නොමැත.

දරුවා නිදා ගැනීමේදී ආරක්ෂිත නින්දේ පුරුදු අනුගමනය කිරීම වැදගත් වේ.

5. දරුවා සමඟ සම්බන්ධතාව ගොඩනැගීම

පළමු මාසයේදී දරුවා සමඟ ඇති කරන සම්බන්ධතාව ඉතා වැදගත් වේ.

දෙමාපියන්ට කළ හැකි දේ:

  • දරුවා සමඟ මෘදු ලෙස කතා කරන්න.
  • දරුවාගේ ඇස් දෙස බලමින් සිනාසෙන්න.
  • දරුවා වඩාගෙන ආදරයෙන් කතා කරන්න.
  • දරුවා අඬන විට සැනසීමට උත්සාහ කරන්න.

මේ සරල ක්‍රියාකාරකම් දරුවාගේ ආරක්ෂිත හැඟීම සහ සමාජීය වර්ධනයට උපකාරී වේ.

6. පළමු මාසයේ දරුවා සමඟ කළ හැකි ක්‍රියාකාරකම්

මෙම වයසේ දරුවෙකුට සංකීර්ණ සෙල්ලම් අවශ්‍ය නොවේ.

ඔබට කළ හැක්කේ

  • දරුවාට ගීත ගායනා කිරීම
  • මෘදු ලෙස කතා කිරීම
  • දරුවාගේ අත් පා මෘදු ලෙස චලනය කිරීම
  • කළු-සුදු වර්ණ ඇති සරල රූප පෙන්වීම
  • සමට සමීපව තබා ගැනීම (skin-to-skin contact)

7. දරුවා හැඬීම ගැන

පළමු මාසයේදී හැඬීම දරුවාගේ ප්‍රධාන සන්නිවේදන ක්‍රමයයි.

දරුවා හැඬිය හැක්කේ

  • බඩගිනි නිසා
  • නිදිමත නිසා
  • අපහසුතාවයක් නිසා
  • මවගේ සමීපතාව අවශ්‍ය නිසා
  • ඩයපරය මාරු කිරීමට අවශ්‍ය නිසා

දරුවාගේ හැඬීම හඳුනා ගැනීමට දෙමාපියන්ට කාලයත් සමඟ හැකියාව ලැබේ.

8. වෛද්‍ය අවධානය අවශ්‍ය අවස්ථා

පහත අවස්ථාවලදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වේ.

  • දරුවා කිරි බීමට අපහසු වීම
  • අසාමාන්‍ය ලෙස නිශ්ශබ්ද හෝ දුර්වල බව පෙනීම
  • උණ ඇති වීම
  • හුස්ම ගැනීමේ අපහසුතා
  • බර වැඩිවීම සම්බන්ධ ගැටලු

අලුත් මව්පියන් ලෙස ඔබ මේ කරුනු මතක තබාගන්න

  • පළමු මාසය කියන්නේ පරිපූර්ණ දෙමාපියන් වීමට උත්සාහ කරන කාලයක් නොවෙයි. එය බත් ඔබේ දරුවාත් එකිනෙකා හඳුනා ගන්නා සුන්දර ගමනක ආරම්භයයි.
  • දරුවාට අවශ්‍ය වන්නේ මිල අධික දේවල් නොවෙයි. ඔබේ ආදරණීය ස්පර්ශය, ඔබේ හඬ, ඔබේ සිනහව, ඔබේ කාලය සහ අවධානය බව අමතක නොකරන්න
  • පුංචි දරුවෙකුගේ පළමු මාසය තුළ ඇති සෑම පුංචි වෙනසක්ම, ඔහුගේ/ඇයගේ ජීවිතයේ විශාල පියවරක් වේ.

මෙය සාමාන්‍ය දැනුවත් කිරීමක් සඳහා පමණි. සෑම දරුවෙකුගේම වර්ධනය වෙනස් විය හැකි අතර, දරුවා පිළිබඳ විශේෂ ගැටලුවක් ඇත්නම් ළමා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසුය.

Leave feedback about this

  • Quality