“පුතේ, ඔය හාල්මැස්සෝ ටිකයි, පරිප්පුයි ඔක්කොම කන්න. අල හොදි විතරක් දාගෙන බත් කන්න එපා.”
කුස්සියේ සිට ඇසෙන අම්මාගේ සුපුරුදු ආදරණීය අවවාදය අපට නිතර දෙවේලේ ඇසෙන හඬකි. නමුත් බොහෝ නිවෙස්වල දරුවන්, විශේෂයෙන්ම නව යොවුන් වියේ පසුවන දූ පුතුන් මේ අවවාද මඟහැර යන්නට බලන්නේ ක්ෂණික ආහාරවල රසයට වසඟ වෙමිනි.
ළමාවිය සහ නව යොවුන් විය යනු මිනිසෙකුගේ ජීවිතයේ වටිනාම සහ තීරණාත්මකම සන්ධිස්ථානයයි. එය හුදෙක් වයසින් මුහුකුරා යාමක් පමණක් නොවේ සීඝ්‍ර ශාරීරික, මානසික මෙන්ම මනෝ සමාජීය වර්ධනයක් සිදුවන සංක්‍රාන්ති කාල පරිච්ඡේදයකි. සැබවින්ම, නීරෝගී සහ ඵලදායී වැඩිහිටි ජීවිතයක් සඳහා ශරීරය සූදානම් කිරීමට ලැබෙන ‘අවසාන රන්වන් අවස්ථාව’ මෙයයි.
නමුත් අද අපේ දරුවන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වන්නේ නිසි පෝෂණයක් නොලැබීමයි. ප්‍රමාණවත් හෝ ගුණාත්මක ආහාර නොගැනීම නිසා දරුවන්ගේ ශාරීරික යෝග්‍යතාවය මෙන්ම මානසික ක්‍රියාකාරීත්වය ද දුර්වල වේ. පාසලේදී පාඩම් වැඩ කෙරෙහි අවධානය යොමු කිරීමට ඇති හැකියාව (ඉගෙනීමේ හැකියාව) අඩු වීම, නිතර නිතර ලෙඩ රෝග හා ආසාදනවලට ගොදුරු වීම, ශරීරයේ නිසි හැඩය ගිලිහී යාම සහ අස්ථි ඝනත්වය අඩු වීම වැනි බරපතළ සංකූලතාවලට ඔවුහු මුහුණ දෙති.
ජයග්‍රාහී පරපුරකට ‘පෝෂණ ඝනත්වයෙන්’ ඉහළ ආහාර වේලක්
මේ තත්ත්වය වෙනස් කර, දරුවන්ගේ අඛණ්ඩ සහ ස්ථාවර වර්ධනයක් ඇති කිරීමට නම් ඔවුන්ගේ දෛනික ආහාර වේල පෝෂණ ඝනත්වයෙන් ඉහළ එකක් විය යුතුය. වැඩිවියට පත්වීමේදී අස්ථි සහ පේශිවල සිදුවන වේගවත් වර්ධනය හේතුවෙන් දරුවන්ට වැඩිපුර ශක්තිය, ප්‍රෝටීන, කැල්සියම් සහ යකඩ අවශ්‍ය වේ.
ඒ සඳහා සෑම ආහාර වේලකටම සත්ත්ව ප්‍රෝටීන (තෙල් කොටස් ඉවත් කළ මස්, මාළු හෝ බිත්තර) සමඟින් පරිප්පු, මුංඇට, කඩල වැනි පියළි ඇට වර්ග හෝ රනිල භෝග එක් කර ගැනීම අත්‍යවශ්‍ය වේ. එසේම එළවළු සහ පලතුරු වැඩිපුර ආහාරයට එක් කිරීමෙන් ශරීරයට අවශ්‍ය විටමින් වර්ග සහ ප්‍රතිශක්තිය මැනවින් ලැබේ.
දියණියන්ට වැඩි සැලකිල්ලක්
මෙම වයසේදී ගැහැණු ළමුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය. ඔසප් වීම ආරම්භ වීමත් සමඟ ශරීරයෙන් පිටවන ලේ වහනය නිසා, පිරිමි ළමුන්ට වඩා වැඩිපුර යකඩවලින් පොහොසත් ආහාර (නිවිති, මුරුංගා කොළ වැනි පලා වර්ග, පීකුදු, රතු මස් වර්ග) දියණියන්ගේ ආහාර වේලට එක් කිරීම අත්‍යවශ්‍ය වේ.
ශක්තිමත් අස්ථි පද්ධතියක් සඳහා කැල්සියම් සහ විටමින් ඩී
වයස්ගත වීමේදී ඇතිවන ‘ඔස්ටියොපොරෝසිස්’ (අස්ථි දිරායාමේ රෝගය) වළක්වා ගැනීමටත්, තරුණ වියේදීම ඉහළ අස්ථි ඝනත්වයක් ළඟා කර ගැනීමටත් කැල්සියම් සහ විටමින් ඩී බහුල ආහාර වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
* කැල්සියම් සපුරා ගැනීමට: කටු ද සහිතව අනුභව කළ හැකි හාල්මැස්සන් ඇතුළු කුඩා මසුන් ආහාරයට එකතු කරන්න. මීට අමතරව දිනකට නැවුම් කිරි වීදුරුවක් හෝ මුදවන ලද කිරි යෝගට් ප්‍රමාණ දෙකක් ලබා දීමෙන් දරුවාගේ කැල්සියම් අවශ්‍යතාවය සපුරාලිය හැක.
* නොමිලේ ලැබෙන විටමින් ඩී: විටමින් ඩී ඌනතාවයෙන් මිදීමට ඇති සරලම ක්‍රමය ස්වභාවධර්මයෙන් අපට දායාද කර ඇත. ඒ සඳහා පෙරවරු 10.00 ත් පස්වරු 3.00 ත් අතර කාලය තුළ විනාඩි 15 ක් පමණ දරුවන් සූර්යාලෝකයට නිරාවරණය වීම (එළිමහනේ ක්‍රීඩා කිරීම හෝ ඇවිදීම) සෑහේ.
ළමාවියේ සහ නව යොවුන් වියේදී ලබා දෙන මනා පෝෂණය දරුවාගේ අද දවසේ පාසල් කටයුතු සාර්ථක කරවනවා සේම, වැඩිහිටි වියේදී වැළඳිය හැකි බෝ නොවන රෝග (දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි) රැසකින් ඔවුන්ව ආරක්ෂා කරයි.
අනාගතය බාර ගැනීමට ඉන්නා මේ යොවුන් දූ පුතුන්ගේ පිඟාන පෝෂණයෙන් පුරවන්නට මව්පියන් වන අප අදම වග බලා ගත යුතුය. මන්ද, නීරෝගී දරුවෙකු යනු රටක වටිනාම ආයෝජනය බැවිනි.
උදානි ජයසේන


Leave feedback about this